Gossips

එජාපෙ, දෙමළ සන්ධානයට දුන් පොරොන්දු, සිද්ධාර්ථන් හෙළි කරයි

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු රැසකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වූ නිසා ඔහුට සහය පළ කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා.
එම සන්ධානය නියෝජනය කරන ප්ලොට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් කියා සිටියේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී හිටපු අගමැතිවරයා මෙම එකඟතා පළ කළ බවයි.
දෙමළ සන්ධානය දැනුවත් නොකර උතුරේ කිසිදු කටයුත්තක් සිදුනොකරන බවටත්, ඔහු එකඟ වූ බව සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා සඳහන් කළා.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පෙරමුණු රජයක් පිහිටුවීමට තම සහය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය කියා සිටියා.
කෙසේ වෙතත්, හිටපු අගමැතිවරයා එකඟත්වය පළ කළ කරුණු අනුව දෙමළ සන්ධානය එම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දැන් පැවැත්වෙනවා.
එමෙන්ම, ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර ද සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහාද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මේ වනවිට එහි නියෝජිතයින් පැමිණෙමින් සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.