Gossips

එජාපෙට සහය දෙන, දෙමළ සන්ධාන තීරණයට ටෙලෝ එරෙහි වේ

එක්සත් ජාතික පෙරමුණු රජයක් පිහිටුවීමට තම පක්ෂය සහය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය පවසනවා.
එම සංවිධානයේ මහ ලේකම් එන්.ශ්‍රීකාන්තා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.
ඔක්තෝම්බර් 26 වැනිදාට පෙර පැවති පරිදි එක්සත් ජාතික පෙරමුණු රජයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා තම පක්ෂය සහය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිවරයාට ඊයේ දැනුම් දුන්නා.
එහි දැක්වුණේ මාසයකට අධික කාලයක් ගතව ඇතත්, ඔක්තෝම්බර් 26 වැනිදා අගමැති ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට මේ දක්වා නොහැකි වී ඇති බවයි.
විශ්වාසභංග යෝජනා දෙකකදීම ඔහුට පාර්ලිමේන්තුවේ විශ්වාසය නොමැති බවට සැකයකින් තොරව පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් වුණා.
එම නිසා පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධුරයට නම් කරන ලෙසද අදාළ ලිපියේ තවදුරටත් දැක්වුණා. කෙසේ වෙතත්, ටෙලෝ සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සෙල්වම් අඩෙක්කලනාදන්ද මෙම ලිපියට අත්සන් තබා තිබුණා.
පසුගිය 02 වැනිදා කොළඹදී රැස්වූ දෙමළ ජාතික සන්ධානයේ කාරක සභා රැස්වීමේදී වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට විරුද්ධව සහය ලබාදෙන බවට සාකච්ඡා සිදු වූවද එක්සත් ජාතික පෙරමුණු රජයකට සහය ලබාදීමක් පිළිබඳව එහිදී සාකච්ඡා නොවුණු බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ටෙලෝ සංවිධානයේ මහ ලේකම් එන්.ශ්‍රීකාන්තා කියා සිටියේ.