Gossips

එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු විශ්වාසභංගය අවසන් වූ වහාම

විශ්වාසභංග යෝජනාව අවසන් වූ වහාම එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී තිබෙනවා.
සිදු කළ සාකච්ඡා අනුව පක්ෂයේ වගකීම් නව කණ්ඩායමක් වෙත පවරා අවශ්‍ය පරිවර්තන සිදු කිරීමට කටයුතු කරන බවයි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
පක්ෂය පූර්ණ වශයෙන් ප්‍රතිසංවිධානය කර ඉදිරි පළාත් සභා මැතිවරණ හා අනෙක් මැතිවරණ සඳහා ඉතා ශක්තිමත්ව මුහුණ දිය හැකි පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පත් කිරීමට පියවර ගන්නා බව ද අගමැතිවරයා සඳහන් කර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පත් කරන ලද රුවන් විජේවර්ධන කමිටු යෝජනා ද දැනට ලැබී ඇති වෙනත් අදහස් ද දීර්ඝව සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර ඇත්තේ.
පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ලබන 30 වනදාට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කිරීමට ප්‍රථම ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ අදහස් ලබාගැනීමට කටයුතු කරන බව ද අගමැතිවරයා කියාසිටියා.
ඒ අනුව ලබන 7 වනදා සහ 8 වනදා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් හා පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡා වට දෙකක් ද කැඳවා තිබෙනවා.
එම රැස්වීම්වලදී පක්ෂයේ සියලු ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ අවසන් තීරණ ගැනීමට නියමිත අතර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් ද පත් කිරීමට නියමිතයි.
එම කමිටුව පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ පක්ෂ සභාපති මහලේකම් හා භාණ්ඩාගාරික සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීමට නියමිතයි.