Gossips

එජාපයේ ගාල්ලේ සහ මීගමුවේ බලය පොහොට්ටුව ඩැහැ ගනී

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වූ ගාල්ල සහ මීගමුව මහනගර සභාවන්හි නගරාධිපති තනතුරු අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුණා.
ඒ, පැවති ඡන්ද විමසීම්වලදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් ජයග්‍රහණය කිරීම හේතුවෙන්.
පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ගාල්ල මහනගර සභාවේ ආසන 14ක් එක්සත් ජාතික පක්ෂයටත්, ආසන 13ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ආසන තුන බැගින් ජනතා විමුක්ති පෙරමුණට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වුණා.
එහි තවත් ආසන දෙකක් හිමි වූයේ එක්සත් ජාතික නිදහස් පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායමකටයි.
ඒ අනුව බහුතරය කිසිවෙකුටත් හිමි නොවූ එම මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අද පළමුවරට සභාව රැස්වූ අතර, රහස් ඡන්දයක් ඊට අදාළව පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ ප්‍රියන්ත සහබන්දුට ඡන්ද 20ක් හිමි වූ අතර, එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ ජිලිත් නිශාන්තට හිමි වූයේ ඡන්ද 11ක් පමණයි.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් තුන්දෙනෙකු ඔහුට ඡන්දය ලබාදී තිබුණේ නැහැ.
ඒ අනුව වැඩි ඡන්ද 9කින් ගාල්ල මහනගර සභාවේ නගරාධිපති ලෙස ප්‍රියන්ත සහබන්දු තේරී පත්වුණා.
පළාත් පාලන මැතිවරණයේදී මීගමුව මහනගර සභාව ජය ගත්තේ ද එක්සත් ජාතික පක්ෂයයි.
එහිදී ආසන 19ක් ඔවුන්ට හිමි වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ ආසන සංඛ්‍යාව 16ක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 6ක් හා ජනතා විමුක්ති පෙරමුණ ආසන 3ක් ජයග්‍රහණය කළා.
ඊට අමතරව තවත් පක්ෂ දෙකකට හා ස්වාධීන කණ්ඩායම් දෙකකට එක් ආසනය බැගින් ද ආසන 4ක් බෙදී ගියා.
අද රැස්වූ එම නගර සභාවේ නගරාධිපති තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් රොයිස් ප්‍රනාන්දු හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ සොහොයුරෙකු වන දයාන් ලන්සා ඉදිරිපත් වුණා.
එහිදී විවෘත ඡන්දයක් පැවති අතර, දයාන් ලන්සා එහිදී ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 6කින්.
එහිදී ඔහුට ඡන්ද 25ක් හිමි වූ අතර, ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡුන්ද 16ක්, නිදහස් පක්ෂයේ ඡන්ද 5ක්, එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ජන්දයක් සහ ලංකා ජනතා කොංග්‍රසයේ ඡන්දයක් ද හිමි වුණා.
මීට අමතරව ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් දෙදෙනාට ඔහුට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ නියෝජිතයාට හිමි වූ ඡුන්ද 19ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයෙකුගේ ද ඡන්දයක් හිමිව තිබුණා.
එමෙන්ම, දේශපාලන පක්ෂයකට බහුතර බලය හිමි නොවූ මිනුවන්ගොඩ නගර සභාවේ නගරාධිපති තනතුර ද අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමි කර ගත්තා.
එහිදී ද රහස් ඡන්දයක් පැවති අතර, ඊට එක්සත් ජාතික පක්ෂයෙන් චන්දන මාරසිංහ සහ පොදුජන පෙරමුණෙන් නීල් ජයසේකර තරඟ කළා.
එහිදී ඡන්ද 8ක් හිමි කර ගනිමින් නගරාධිපති ලෙස තේරී පත්වුණේ නීල් ජයසේකරයි.
එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා විවෘත ඡන්දයක් පැවති අතර එහිදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සහ පොදුජන පෙරමුණු අපේක්ෂකයා ඡන්ද 7 බැගින් ලබාගෙන සම තත්ත්වයක පසුවුණා.
අනතුරුව කාසියේ වාසිය උරගා බැලූණු අතර එහිදී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයායි.
මේ අතර, පළාත් පාලන ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ බහුතරය බලය හිමි නොවූ බලංගොඩ නගර සභාවේ නගරාධිපති තනතුර එක්සත් ජාතික පක්ෂය විසින් අද හිමි කර ගත්තා.
නගරාධිපති ධුරය සඳහා පක්ෂ දෙකෙන්ම විවෘත ඡන්දයක් පැවති අතර එහිදී ජයග්‍රහණය හිමි කර ගත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ චාමික වැවේගෙදරයි.
එමෙන්ම බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුර සඳහා ද අද රහස් ඡන්දයක් පැවැත්වුණා.
එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා ජයග්‍රහණය කළා.
මේ අතර, පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය හිමි කරගෙන තිබූ කටුනායක – සීදුව නගර සභාවේ නගරාධිපති තනතුර අද එක්සත් ජාතික පක්ෂය විසින් හිමි කර ගත්තා.
ඒ, විවෘත ඡන්ද විමසීමකින් අනතුරුවයි.