Gossips

එජාපයෙන් විශ්වාසභංගයක්

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට එරෙහිව හෙට විශ්වාසභංගයක් කතානායකවරයාට භාර දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
ඊට අදාළ අත්සන් ගැනීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් පිරිස අතර ඇමති එස් බී දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශණ යාපා, චන්දිම වීරක්කොඩි, සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, ටී.බී. ඒකනායකද වනවා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අනුරාධ ජයරත්න, සුමේධා ජී. ජයසේන, සුසන්ත පුංචිනිලමේ සහ තාරානාත් බස්නායක ඇතුලූ පිරිසක් පක්ෂව ඡන්දය භාවිත කළ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් 26 දෙනෙකු ඡුන්දය භාවිත කරන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.
ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කල විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්ථාන්ද ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීම විශේෂත්වයක්.
කෙසේවෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 46 කින් ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා.
විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 105 දෙනෙකු, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළා.
පසුගියදා අමාත්‍ය ධුර වලින් ඉවත් කෙරුණු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාද අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයක්.
එමෙන්ම නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන මලිත් ජයතිලක, ආරුමුගම් තොන්ඩමන්, වීරකුමාර දිසානායක, අංගජන් රාමනාදන් සහ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැහැ.