Gossips

එජාපයෙන් ක්‍රිකට් අතුරු කමිටු යෝජනාවක්

එජාපයෙන් ක්‍රිකට් අතුරු කමිටු යෝජනාවක් "
ක්‍රීඩාවට ආදරය කරන ලංකාවේ සියල්ලන්ගේම අවධානය මේ දිනවල යොමුව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව වෙතයි.
එවැනි තත්වයක් තුළ අද (31) උදෑසන පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීද මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුවූ බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අප වෙත සඳහන් කළේ.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තත්වය සම්බන්ධයෙන් අදහස් රැසක් පලවී ඇති අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය වන්නේ පසුගිය කාලය තුල ක්‍රිකට් ක්‍රීඩාව පරිහානියට ලක්ව ඇති බවයි.
ඒ අනුව යෝජනා වී ඇත්තේ ව්‍යාපාරිකයන් සහ බුකිකරුවන් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත්කර ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පුද්ගලයින් කඩිනමින් පත්කළ යුතු බවයි.
හිටපු ක්‍රීඩක සිදත් වෙත්තමුණි වැනි ක්‍රිකට්වලට ආදරය කරන අය එම තනතුරු සඳහා බෙහෙවින් උචිත බවයි එහිදී සඳහන් වී ඇත්තේ.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවකින් හෝ ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බාරදිය යුතු බවටයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය වී ඇත්තේ.
ඒ අනුව එළඹෙන සඳුදා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අගමැතිවරයා ප්‍රකාශ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර අද (31) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නට කොළඹ අභියාචනාධිකරණය ඊයේ (30) පියවර ගත්තා.
ඒ, මෙවර නිලවරණයේ සභාපති ධුර අපේක්ෂකයෙකු ලෙස තරඟවදින නිශාන්ත රණතුංග මහතා ගොණුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මේ අතර, අද (31) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික මහ සභා රැස්වීම අභියචනාධිකරණ නියෝගය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට දිනයේදී පැවැත්වීම වළක්වාලමින් නිශාන්ත රණතුංග මහතා මෙම් පෙත්සම ගොණුකළේ පසුගිය 25 වැනිදායි.
ක්‍රීඩා පනතට අනුව සහ ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව තිලංග සුමතිපාල මහතා නිලවරණයට ඉදිරිපත් වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නොමැති බව සහ
ක්‍රිකට් නිලවරණ කමිටුව පත්කිරීමේදී අවශ්‍ය කොන්දේසි සපුරා නොතිබීම ඇතුළු කරුණු කිහිපයක් අදාළ පෙත්සමෙන් පෙන්වාදී තිබුණා.