Gossips

එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් වර්ජනයක

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විශ්ව කාලාවර්තක ඇගයීම් වාර්තාව ජීනිවා නුවර මානව හිමිකම් මණ්ඩලය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් වැඩ වර්ජනයක නිරතවීම හේතුවෙන් එය කල් දමා තිබෙනවා.
සේවා පහසුකම් කප්පාදු කිරීම සහ වැටුප් අඩු කිරීමට එරෙහිවයි ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ.
මානව හිමිකම් මණ්ඩලයේ ක්‍රියාකාරී කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විශ්ව කාලාවර්තක ඇගයීම් වාර්තාව සකසා ඇත්තේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කරගත් ශ්‍රී ලංකාව පිළිබඳ පහ – එක යෝජනාව යටතේයී.
එහි අවසන් වාර්තාවයි අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල 37 වන සැසිවාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ.
එහිදී එම වාර්තාව සම්මත කර ගැනීමටද නියමිත තිබුණා.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට විරුද්ධව ඉදිරියේදී නඩු පවරන බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසනවා.
දේශහිතෛෂී භික්ෂු පෙරමුණේ නායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
මේ අතර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති වසන්ත තීර්තිරත්න මහතා ඊයේ සැසිය ඇමතුවා.