Gossips

එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු කණ්ඩායමක් නව අගමැති මහින්දගේ සහයට – SB

එක්සත් ජාතික පක්ෂයේ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක් ඉදිරියේදී නව අගමැති මහින්ද රාජපක්ෂට සහයෝගය පළකර නව ආණ්ඩුව සමඟ එක්වීමට සුදානමින් සිටින බව පාර්ලිම්නේතු මන්ත්‍රී SB දිසානායක මහතා පවසනවා.
මේ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය නව අගමැතිවරයාට හිමිවනු ඇති බවටයි මන්ත්‍රීවරයා විශ්වාසය පළකරන්නේ.

මේ අතර නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට තම පක්ෂයේ සහය ලබාදෙන බව ලංකා කම්කරු කොංග්‍රසය පැවසුවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තුසිවලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඒ අනුව පාර්ලිමේන්තුවේදී නව අග්‍රාමාත්‍යවරයා සමඟ එක්වන බවයි.
එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් ඊයේ (26) දිනයේදී නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සුබ පැතීම සඳහා ද පැමිණ සිටියා.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ (26) පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශේෂ සාකච්ඡාවකින් පසුවයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති දිවුරුම් දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින්, ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ නියෝජිතයින් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්ද එක්ව සිටියා.
අනතුරුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
එම තීරණය කථානායකවරයා වෙත දැනුම් දුන් බවද ඔහු සඳහන් කළා.
දිවුරුම්දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හුණුපිටිය ගංගාරාම විහාරය වෙත ගොස් ආශීර්වාද ලබාගත්තා.
අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විජේරාම ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස වෙත පිටව ගිය අතර ඒ වන විටත් එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එකව සිටියා.