Politics Sri Lanka

එක්සත් ජනපදයේ දින නවයක අඛණ්ඩ ගුරු වැඩ වර්ජනය ජයග්‍රහණයෙන් අවසන් වේ

එක්සත් ජනපදයේ දින නවයක අඛණ්ඩ ගුරු වැඩ වර්ජනය ජයග්‍රහණයෙන් අවසන් වේ

පසුගිය පෙබරවාරි 22 දින සිට පුරා දින නවයක් බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ සියලු පාසල් වසා දමමින් ගුරුවරුන් 5%ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිදුකළ අඛණ්ඩ වැඩ වර්ජනය ඊයේ (06) දින ජයග්‍රහණයෙන් අවසන් විය. ඉහළ යන ජීවන වියදම හමුවේ ගුරුවරුන් මෙන්ම පාසල් සේවකයන්ගේද සාමූහික අරගලය අවසන් වූයේ ප්‍රාන්ත ආණ්ඩුකාර ජිම් ජස්ටිස් විසින් 5%ක වැටුප් වැඩි කිරීම නිත්‍යානුකූලව අනුමත කිරීමෙන් පසුවය.

ආණ්ඩුකාර ජිම් ජස්ටිස් වැඩ වර්ජනය ආරම්භයේ ප්‍රකාශ කර සිටියේ එවන් වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට කිසිසේත් හැකියාවක් නොමැති බවයි. නමුත් ක්‍රම ක්‍රමයෙන් ගුරු අරගලය පුළුල් වෙමින් ශිෂ්‍ය දෙමාපිය සහයද ඊට ලැබෙමින් අඛණ්ඩව ඉදිරියට ඇදෙන විට බලධාරීන්ට දණ නැවීමට සිදුවිය. සටන අතරමගදී 4%ක වැටුප් වැඩිවීමක් ලබා දීමට සෙනෙට් සභාව එකඟ වූ අවස්ථාවේදීද ගුරුවරුන් එක හඬින් 5%ක වැටුප් වැඩිවීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කරන ලදි. ගුරුවරුන් 20 000කට අධික ප්‍රමාණයක් සමග මුළු සේවක 35 000ක පිරිසක් වූ මෙම වැඩ වර්ජනය නිසා බටහිර වර්ජිනියාහි සියළු පාසල් වැසී ගිය අතර පාලකයන්ගේ කල් මැරීම නිසා ලක්ෂ 3කට ආසන්න සිසුන් පිරිසකගේ අධ්‍යාපනයද දින නවයක් පුරා ඇණහිට තිබුණි.

1990 වසරින් පසුව බටහිර වර්ජිනයා ප්‍රාන්තයේ සිදුවූ දැවැන්තම ගුරු අරගලය මෙයයි.