මීට වසරකට පෙර බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමඟ පැවති තුන්කොන් තරගාවලිය ජයගැනීමෙන් පසු එක්දින තරගාවලියක් ජයගෙන නොමැති ශ්රී ලංකාව අද දකුණු අප්රිකාව සමඟ පළමු එක්දින තරගයට සහභාගිවනවා.
ශ්රී ලංකා පිල වසර දෙකහමාරකින් ද්විපාර්ශවික එක්දින තරගාවලියක් ජයගෙන නැහැ.
කෙසේ නමුත් ටෙස්ට් තරගාවලියේදී දකුණු අප්රිකානු පිල පරදවමින් එම දස්කම දැක්වූ ප්රථම ආසියාතික කණ්ඩායම බවට පත් ශ්රී ලංකා පිලෙන් එක්දින තරගාවලියේදී විස්මිත කුසලතා අපේක්ෂා කළ හැකි බවයි ක්රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
පැයට කිලෝමීටර 150 ක වේගයෙන් පන්දු යවන ඇන්රිච් නෝයේ දකුණු අප්රිකානු පිලට යළි එක්වන අතර, ඔහුට එරෙහිව ලොව වඩාත්ම ජනප්රිය වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංගගෙන් ප්රබල ප්රතිචාරයක් අපේක්ෂා කළ හැකියි.
පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගත් අකිල ධනංජයද ශ්රී ලංකා පන්දු යවන බලඇණිය ශක්තිමත් කරනු ඇති.