Gossips

එක්කෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික විදෙස් මුදල් තොගයක් ගුවන්තොටේදී අල්ලයි (ඡායාරූප)

රුපියල් එක්කෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස විදෙස් රටකට රැගෙන යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (23) සවස ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරණ සහ පාමංකඩ ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් – 862 දරණ ගුවන් යානයෙන් චීනයේ – ෂැංහයි බලා යාමට පැමිණි අවස්ථාවේ ඊයේ (23) සවස මෙම සැකකරුවන් දෙදෙනා රේගු නිලධාරීන් විසින් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකරන ස්කෑන් පරීක්ෂණ වලදී , මොවුන් දෙදෙනා රැගෙන විත් තිබූ ගමන්මලු දෙකක සඟවා තිබියදී මෙම විදේශ මුදල් තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා.
ඇමෙරිකානු ඩොලර්, හොංකොං ඩොලර්, ඉන්දියානු රුපියල් සහ ශ්‍රී ලංකා රුපියල් සොයාගත් මුදල් අතර තිබූ බවයි රේගුව පවසන්නේ.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල