එංගලන්ත කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී තරඟ නැරඹීම සඳහා විදෙස් ප්‍රේක්ෂකයින්ට ඉහළ මිලකට ප්‍රවේශපත් අලෙවි කරන බවට එංගලන්ත මාධ්‍ය එල්ල කරන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන ප්‍රධානි අනුර ද සිල්වා පවසන්නේ දේශීය සහ විදේශීය ප්‍රේක්ෂකයින්ට එකම මිල ගණන යටතේ තරඟ ප්‍රවේශපත් අලෙවිකරන බවයි.
ලබන ඔක්තෝම්බර් 10 සහ නොවැම්බර් 27 අතර කාල සීමාව තුල ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරඟ 03ක් එක්දින තරඟ 05ක් සහ පන්දුවාර 20 එක තරඟයක් පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය චෝදනා එල්ල කළේ මෙම තරඟාවලිය තුලදී විදෙස් ප්‍රේක්ෂකකුට එක් ප්‍රවේශපතක් පවුම් 50ක් එනම් මෙරට මුදලින් රුපියල් 10,250ක මුදලකටත් දේශීය ප්‍රේක්ෂකකුට එක් ප්‍රවේශපතක් පවුම් 1.50ක් එනම් මෙරට මුදලින් රුපියල් 307ක මුදලකටත් අලෙවි කරන බවටයි.
රුපියල් පන්දහස මෙම තරඟාවලියේදී නිකුත්කරන ප්‍රවේශපත් වල වැඩිම මිලක් නියම කර ඇති ප්‍රවේශපත බවත්, අවම ප්‍රවේශ පත්‍රය රුපියක් 300ක මුදලකට මිල කර ඇති බව අනුර ද සිල්වා වැඩිදුරටත් පවසනවා.
විදේශීය ප්‍රේක්ෂකයිට වුවද අවම මිලක් නියම කර ඇති ප්රවේශපතකින් තරඟ නැරඹීමට හැකියාවක් පවතින බවයි ක්‍රිකට් ආයතනයේ පරිපාලන ප්‍රධානියා පවසන්නේ.
මේ අතර දෙරට අතර පවත්වන ටෙස්ට් තරඟ තුනේදී පස්වන දිනය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබාදෙන බව ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.