Gossips

ඌව පළාත් ප්‍රධාන ඇමතිට එරෙහිව වෛද්‍යවරුන් වර්ජනයේ

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ඌව පළාතේ රෝහල්වල වෛද්‍යවරුන් අද, වැඩවර්ජනයක නිරතවුණා.
ඒ හේතුවෙන් පළාතේ රෝහල්වල සායනික කටයුතුවලට බලපෑම් එල්ලවූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
දෙමෝදර ප්‍රාදේශීය රෝහල පිහිටි භූමියෙන් වෙනත් ප්‍රදේශයකට මාර්ගයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සළසා නොදීම පිළිබඳව විමසීම සඳහා පසුගිය 27 වනදා බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය, ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට කැඳවා තිබුණා.
එහිදී ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය අතර සංවාදයක් ඇතිවුණා.
මෙම සිද්ධියට විරෝධය පළ කරමින් පසුගිය 29 වනදා දෙමෝදර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වී විරෝධතාවයේ නිරතවූ අතර, ඔවුන් එහිදී කියා සිටියේ අප්‍රේල් 1 වනදාට පෙර ප්‍රධාන අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරියගෙන් සමාව ලබාගත යුතු බවයි.
එය සිදු නොවීම නිසා අද වර්ජනය ක්‍රියාත්මක වූ අතර, ඉන් දැඩි අපහසුතාවට පත්වූ බව රෝගීන් ප්‍රකාශ කළා.