Gossips

ඌවේ මහ ඇමති, සමාව නොගතහොත් වෛද්‍යරුවන්ගෙන් වර්ජනයක්

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කිරීමේ සිද්ධියට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සමාව නොගතහොත් ඉදිරි සතිය තුළදී දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත්, ඊයේ බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ සමාව ගැනීමට, තමන් වරදක් කර නොමැති බවයි.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ඌව පළාතේ රෝහල්වල වෛද්‍යවරුන් මේ වනවිට වැඩවර්ජනයක නිරත වනවා.
ඒ හේතුවෙන් පළාතේ රෝහල්වල සායනික කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
දෙමෝදර ප්‍රාදේශීය රෝහල පිහිටි භූමියෙන් වෙනත් ප්‍රදේශයකට මාර්ගයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සළසා නොදීම පිළිබඳව විමසීම සඳහා පසුගිය 27 වනදා බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය, ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට කැඳවා තිබුණා.
එහිදීයී ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරියට බැන තර්ජනය කළේ.
කොළඹ දී අද මාධ්‍ය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ අදාළ සිදුවීම මුල්කරගනිමින් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් බවයි.