Gossips

ඌරු මස් ව්‍යංජනයක් නිසා පොලිස් නිලධාරියෙකුට පහරදීමක්

​රාත්‍රී කෑමට පිළියෙල කරන ලද ඌරු මස් ප්‍රමාණවත් නොවන බව පවසා පොලිස් සුබ සාධන හා අශ්වාරෝහක කොට්ඨාශ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දමයන්ත විජය ශ්‍රී මහතා නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවස්නයේ භාරකාර පොලිස් පරීක්ෂකවරයාට පහර දුන් බව කියන පුවතක් වාර්තා වනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ පොලිස් පරීක්ෂකවරයා නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිළි කර ඇති බවයි.
මෙම පහරදීම සිදු කර ඇත්තේ පසුගිය 27 වනදා රාත්‍රීයේයි.
නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවස්නයේ භාරකාර පොලිස් පරීක්ෂක දයානන්ද අලහප්පෙරුම මහතා මෙසේ පහර කෑමට ලක්වුණා.
දමයන්ත විජය ශ්‍රී මහතා ඉකුත් 25 වනදා නුවරඑළිය පොලිස් අධිකාරී කාර්යාලයට යාබඳව පිහිටි මෙම නිවස්නයට පැමිණ ඇත්තේ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාත් සමගයි.
නුවර එළිය පොලිස් කොට්ඨාශයේ රාජකාරී කටයුත්තක් සඳහා පැමිණි බව කියන ඒ මහතා වෙනුවෙන් 25 දින සිට 28 දින දක්වා නිවස්නය වෙන්කොට තිබූ බවට පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා පවසනවා.
තුවාලකරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඊයේ පිටව ගොස් ඇති අතර, ඔහු ඉල්ලා සිටින්නේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකර දෙන ලෙසයි.

rn