Gossips

ඌරුබොක්කේ ඝාතනයට කාන්තාවක් ඇතුලූ හතරදෙනෙකු අත්අඩංගුවට

මාතර – ඌරුබොක්ක – හුලංකන්ද – දම්පහළ මාර්ගයේදී පසුගිය 22 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ඇතුලූ 4 දෙනෙකු, මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලස්මුල්ල ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගියදා සිදුවූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ මාතර – පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජන හා සංඛ්‍යාලේඛන අංශයේ සේවය කරන නිලධාරියෙක්.
වලස්මුල්ල – අකුරැස්සවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම නිලධාරියා, යතුරුපැදියෙන් සිය දරුවන් පාසලට රැගෙන ගොස් යළි සේවා ස්ථානය කරා යමින් සිටියදි මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඊට ගිනි අවිය ලබාදුන් පුද්ගලයාද සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
අනියම් සබඳතාවක් ඝාතනයට හේතුවී ඇති බවට පොලීසිය සැක කරනවා.