Gossips

උසස් පෙළ විභාග කාලසටහන් ගැටළුවක්

මෙවර උසස් පෙළ විභාගයට අදාළව කාලසටහන් ගැටළුවක් හේතුවෙන් සිසුන් කිහිපදෙනෙකුට එහි සිංහල විෂය පළමු ප්‍රශ්න පත්‍රය මඟ හැරී යාමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
අදාළ සිසුන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් විභාග කාලසටහනේ විභාග ආරම්භ වන වේලාව නියමිත වේලාවට පසුව සටහන් වී තිබීම හේතුවෙන් මෙම ගැටළුව උද්ගත වී ඇති බවයි ගුරු සංගම් පෙන්වා දෙන්නේ.
උසස් පෙළ විභාගයේ සිංහල විෂය පළමු ප්‍රශ්න පත්‍රය පසුගිය 11 වැනිදා පැවැත්වුණා.
කෙසේ වෙතත්, විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර තිබූ කාලසටහනට අනුව විභාගයට පෙනී සිටීමට ගිය සිසුන්ට එදින සිදුවූයේ අනපේක්ෂිත සිදුවීමකට මුහුණදීමටයි.
ඒ, ඔවුන් විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන විට එම ප්‍රශ්න පත්‍රය අවසන් වී තිබීම හේතුවෙන්.
එම සිසුන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් කාලසටහනේ විභාග ආරම්භක වේලාව පස්වරු 12.30 ලෙස දක්වා තිබුණත්, ප්‍රශ්න පත්‍රය ආරම්භ වී ඇත්තේ පෙරවරු 08.30 ටයි.
එහිදී තමන් මුහුණදුන් අසීරුතාව පැහැදිලි කළ බණ්ඩාරවෙල සීවලි මහා විද්‍යාලයේ සිසුවියක්, හල්දුම්මුල්ල වල්හපුතැන්න ජාතික පාසලේ සිසුවියක් සහ අම්පාර ප්‍රදේශයේ පෞද්ගලික විභාග අපේක්ෂිකාවක් කියා සිටියේ අදාළ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට නොහැකිවූ බවයි.
කෙසේ වෙතත්, මේ වනවිට අදාළ කාලසටහන් ගැටළුව නිවැරදි කර විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දක්වා තිබෙන අයුරු දක්නට ලැබෙනවා.
අප මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ප්‍රවේශපත්‍රයේ පමණක් සඳහන් නියමිත කාල වේලාව තෝරා ගැනීමට අපේක්ෂකයින් කටයුතු කළ යුතු බවයි.
මෙම ගැටළුව මතුවූ පසුගිය 11 වන සෙනසුරාදා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළ විභාග දෙපාර්තමේන්තුව ප්‍රවේශපත්‍රයේ සඳහන් වේලාව හඳුනාගෙන විභාගයට ඉදිරිපත් විය යුතු බවට උසස් පෙළ සිසුන් දැනුම්වත් කිරීමද විශේෂත්වයක්.
මෙම කාලසටහන් ගැටළුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්ද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.