Politics Sri Lanka

උමා ඔය විනාශයට දෙගොල්ලොම වගකිව යුතුයි

උමා ඔය විනාශයට දෙගොල්ලොම වගකිව යුතුයි

බණ්ඩාරවෙල මහ නගර සභාවට හා ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණ තනිව තරග නොකර ස්වාධීන කණ්ඩායම් විදියට ඉදිරිපත් වෙන්නේ ඇයි?

ජවිපෙ හැටියට අපි අනෙක් සියලු ආයතනවලට තරග කළත් සුවිශේෂී ප්‍රශ්නයකට මුහුණ දී සිටින ප්‍රදේශයක් වන බණ්ඩාරවෙලට අයත් බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට සහ බණ්ඩාරවෙල නගර සභාවට පමණක් අපි ස්වාධීනව තරග කරන්න තීන්දු කළා.

මෙහිදී ජවිපෙ, එජාප, ශ්‍රී ලනිප භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් එකට එකතු වෙලා ඉන්නවා. උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුව ඇති පාරිසරික විනාශයට එරෙහිව සටන් කරපු කණ්ඩායම් මේ පරිසර ප්‍රශ්නය මුල්කරගෙන ස්වාධීනව ඉදිරිපත් වෙනවා. උමා ඔය ප්‍රශ්නයට එරෙහිව ඉදිරියටත් එකමුතුව සටන් කළයුතුයි කියන හැඟීමෙන් තමයි අප ස්වාධීන වෙන්න තීරණය කළේ.

ජනතා විමුක්ති පෙරමුණ විදියට තනිවම තරග වැදිලා ජනතාව දිනා ගන්න බැරිද?

අප ඒ විදියට පටුව හිතුවේ නැහැ. පාරිසරික සටනක් කරන කණ්ඩායමක් එකමුතුව සමඟිව සිටීමයි කළ යුත්තේ. මෙහිදී බලයක් අත්පත් කරගන්න පුළුවන් නම් ඒක ඉදිරි අනාගතයට හොඳයි කියලා අප හිතනවා. ලෝකයේත් අපේ රටේත් ගත්තත් පරිසර විනාශය ප්‍රධාන ව්‍යසනයක් බවට පත්වෙලා. ඒ නිසා අප අද විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දීලා. කුණු කන්ද, ඩෙංගු, වකුගඩු ප්‍රශ්නය, විල්පත්තු ප්‍රශ්නය, උමා ඔය ප්‍රශ්නය, ඉඩම් කොල්ලකෑම්, ආදී රට පුරාම පාරිසරික විනාශයක් සිදුවන මොහොතක, ඒ ව්‍යසනයන් සිදුකරන පාලකයන්ට දැනෙන්න, රිදෙන්න, නැවත සිතා බලන්න මෙවැනි බලගැන්වීමක් කරන එක සුදුසුයි කියලා අපට හිතෙනවා.

මේවා ස්වාභාවික විපත් නෙවෙයි, පාලකයන් කළ විපත්. එයින් එක් විපතක් විතරයි උමා ඔය විපත කියන්නේ. විල්පත්තුවේ විපත, හම්බන්තොට වරායේ විපත, කොළඹ වරාය නගරයේ විපත, ඔලුවිල් වරායේ විපත, මහ බැංකුවේ විපත, ආදී දහසකුත් විපත්, කඩා වැට්ටුවේ අවුරුදු 70ක් මේ රටේ තිබූ ශ්‍රීලංකා – යූඇන්පී ආණ්ඩු. මේ ස්වාභාවික විපත් නෙවෙයි. ආණ්ඩු විසින් ගෙන ආ විපත් විසින් අද සංවර්ධනයේ අනාථයන් බිහිවෙලා ඉන්නවා. රට ණයගැති වෙලා. රට විකිණිලා.

පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය එකතුව ස්වාධීන කණ්ඩායමක් විදියට මේ වනවිට තරග කරනවා නේද?

ඔවුන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේදී පක්ෂ දෙකක් විදියට ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් බණ්ඩාරවෙල මහ නගර සභාවට ඉල්ලන්නේ මහින්ද – මෛත්‍රි එකතුවෙන්. දෙකට බෙදිලා ලෝකයට පේන්න බොරුවට රණ්ඩු වුණත් මෙතැනදී ඔවුන් එකට ඉන්නේ. උමා ඔය විනාශය දෙගොල්ලම නොකළ බවට කියන්න ඔවුන් මහන්සි ගන්නවා. නමුත් ඒ වගකීමෙන් ගැලවෙන්න ඔවුන්ට බැහැ.

ඔවුන් ඔබට අභියෝගයක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද?

අපේ රටේ ජනතාවට පාලකයන් අභියෝගයක් තමයි. ඒ නිසා තමයි මේ වගේ රටේ විවිධ ව්‍යසනවලට මුහුණ දෙන්න සිදු වුණේ. ඒ අභියෝගයට එරෙහිව තමයි අපි කටයුතු කරන්නේ. බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාව යම් බුද්ධිමත් තීන්දුවක් ගනීවි කියලා ඔවුන්ට ව්‍යසනයක් ගෙන ආ පාලකයන්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කරයි කියන විශ්වාසය අපට තියෙනවා.

බණ්ඩාරවෙල මහ නගර සභාව දිගටම යූඑන්පී පාලනයක් තිබුණේ. ඒක වෙනස් වෙයි කියලා හිතන්න පුළුවන්ද?

රට වශයෙන් ගත්තම ඉතිහාසයේ එක් එක් ප්‍රදේශ එක් එක් පක්ෂවලට වැඩි ඉඩක් ලැබී තිබුණා. එහෙත් ජනතාව දේශපාලනිකව බුද්ධිමත් වුණු පසු ඒ තත්ත්වය වෙනස් වුණා. පහුගිය කාලයේ මේ රට රාජපක්ෂට සින්නක්කරයට ලියාගන්න ගත්තු මහන්සිය මේ රටේ ජනතාව වෙනස් කළා. මෙතැනත් යූඇන්පී එකට සීමා වුණු පාලනයක් නෙවෙයි තියෙන්නේ. බුද්ධිමත් ජනතාවක් මේ ප්‍රදේශයේ ඉන්නවා. අපි ජනතාව දැනුවත් කරමින් ඉන්නවා. අපි හිතනවා ජනතාව තීන්දුවක් ගන්න සූදානමින් ඉන්නේ කියලා.

බොහෝ දෙනකු කියන්නේ සමන්ත විද්‍යාරත්නලා උමා ඔය විකුණලා ඡන්දෙ ගන්න හදනවා කියලයි.

ස්වාධීන කණ්ඩායමක් ඡන්දයට ඉදිරිපත් වීමේ බියෙන් නඟන චෝදනාවක් ඕක. උමා ඔය විකුණගෙන ඡන්දේ ගන්න හදනවා කියන්න පුළුවන් සීනුව ලකුණින් අපි ඡන්දෙකට ආවා නම්. යූඇන්පී – ශ්‍රීලනිප – ජේවීපී, මුස්ලිම්- දෙමළ- සිංහල සියලු දෙනා සමඟි වීම ඔවුන්ගේ පැවැත්මට බලපෑමක් එල්ල වෙලා තියෙනවා.

කොහොම වුණත් මේ විනාශය කළේ මහින්ද රාජපක්ෂ හා මෛත්‍රි – රනිල් කණ්ඩායම්. විනාශකාරී ව්‍යාපෘති ගෙනත් ඒවායින් ලාභ ලැබුවේ ඔවුන් මිස ජනතාව නෙවෙයි. ජනතාවට සිදුවුණේ පාඩුවක්. ජනතාවගේ අලාභය සමඟ ජනතාවගේ උත්තරේ පෙබරවාරි 10 වැනිදා ලාභ ලැබූ සියලු දෙනාට දැනගන්න පුළුවන්.

උමා ඔය ව්‍යාපෘතියට හිටපු කෘෂිකර්ම ඇමැති අනුර කුමාර දිසානායක වගකියන්න ඕනෑ කියලයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියන්නේ?

ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි මේ කතාවට උත්තරයක් ලබා දී තිබෙනවා. 1952 සිට උමා ඔය දකුණට හැරවීම සංකල්පයක් හැටියට ඇවිත් විවිධ මට්ටමේ පරීක්ෂණ නිරීක්ෂණ සිදුකරමින් කටයුතු කරලා තිබෙනවා. ඒ ලිපි ගොනුවක් වාරිමාර්ග අමාත්‍යාංශයේ දිගටම පැවැතුණා. වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ඇමතිවරුන් ඒ සඳහා ඉදිරි පියවර අරගෙන තිබෙනවා. අනුර කුමාර දිසානායක සහෝදරයත් මාස 14ක් කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට කටයුතු කරනකොට ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ලිපි කිහිපයක් ඒ ලිපිගොනුවලට එකතු කරලා තියෙනවා. ඉතිහාසය දිහා බලනකොට අනුර කුමාර දිසානායක සහෝදරයා මේක ආරම්භ කළා කියන්න බැහැ.

සියලු පරීක්ෂණ අවසන් නොකොට මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ චෝදනාව තියෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට. රටේ නීත්‍යනුකූලව පටන් නොගත් ව්‍යාපෘතියක් දිගටම පවත්වාගෙන යෑමේ චෝදනාව තියෙන්නේ රනිල් අගමැතිවරයාට හා මෛත්‍රිපාල ජනාධිපතිවරයාට. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අනුර දිසානායක සහෝදරයාට කිසිදු චෝදනාවක් එල්ල කරන්න බැහැ. පරීක්ෂණයකින් තොරව මේ ලිපිගොනුව වසා දැම්මා නම් ඒකත් වැරැදියි. අවසන් පරීක්ෂණ නොකොට මුල්ගල තැබුවා නම් ඒකත් වැරැදියි. ඒ වැරැදි දෙකම අනුර කුමාර සහෝදරයා කළේ නැහැ.

මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෛත්‍රි – රනිල් ආණ්ඩුවට චෝදනා කරනවා විතරයි මහින්ද ආණ්ඩුවට චෝදනා කරන්නේ නැහැ කියලා කියනවා නේද?

මෛත්‍රිපාලට චෝදනා එල්ල වෙනකොට මහින්ද පැත්තට ඇඟිල්ල දිගු කරනවා. මහින්දට චෝදනා එල්ලවෙනකොට ඔහු අනුරගේ පැත්තට ඇඟිල්ල දිගු කරනවා. ඉතිහාසයේ කතාවක් තියෙනවා පරාජය අවජාතකයි, ජයග්‍රහණයට පියවරු සීයයි කියලා. මේ පරාජය උරුම කරදීපු මහින්දලා රනිල්ලා මෛත්‍රිලා දැන් මේකෙන් නි‍ෙදාස් වෙන්න තැන් සොයනවා. නමුත් ඔවුන්ට නිදහස් වෙන්න බැහැ. මේ ව්‍යාපෘතිය සීයට සීයක් හරි ගියානම් රනිල් හෝ මහින්ද හෝ මෛත්‍රි හෝ කියාවිද මේක අනුර කුමාර දිසානායක ආරම්භ කළේ කියලා. ලුණුගම්වෙහෙර ජලාශයට වතුර මදි වෙලා මැණික් ගඟ හරස් කරලා වෙහෙරගල ජලාශය ඉදි කළේ අනුර කුමාර දිසානායක සහෝදරයා මුල්ගල තියලා. නමුත් ඒක විවෘත කළේ මහින්දලානේ. ඒ නිසා මහින්දටවත් මෛත්‍රිටවත් රනිල්ටවත් මේ කරපු විනාශයෙන් ගැලවීමක් නැහැ.

විල්පත්තුව ගැන ජවිපෙ කතා කරන්නේ නැති තරම් කියලත් චෝදනා තියෙනවා.

එක එක කණ්ඩායම්වලට ඕන තරමට විරෝධය පාන්න අපට බැහැ. විල්පත්තුව සම්බන්ධයෙන් අපි විරෝධය පාලා තියෙනවා. ලාල් කාන්ත සහෝදරයත් ඒ ප්‍රදේශවලට ගිහින් ජනතාව දැනුවත් කරලා තියෙනවා. නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් පළකරලා තියෙනවා. මාධ්‍ය සාකච්ඡා පවත්වලා තියෙනවා. උමා ඔය විපත සම්බන්ධයෙන් මන්ත්‍රිවරයකු සිටිය නිසා, අපට යම් බලයක් තිබුණු නිසා අපි නඟපු හ‍ඬ ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන්. නමුත් විල්පත්තු විනාශය සම්බන්ධයෙන් අපේ විරෝධයේ කිසිදු අඩුවක් නැහැ.

මව්බිම