Gossips

උමාඔය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම්, අගෝස්තු මාසය වනවිට නිම කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයා ඊයේ (22) පස්වරුවේ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සදහා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදීයි මෙලෙස නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ.
මේ වනවිට අදාළ ව්‍යාපෘතියේ සියයට 92 ක පමණ වැඩ අවසන් වී ඇති අතර ඉතිරි කටයුතු ද කඩිනමින් සම්පූර්ණ කරන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.
උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන භූ ගත විදුලි බලාගාරය ද මෙහිදී ජනාධිපතිවරයා නිරීක්ෂණය කර තිබුණා.
මෙම විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගවොට් 120 ක විදුලි ධාරිතාවක් එක්වීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය මගින් දකුණේ සහ නිරිත දිග ප්‍රදේශයන්හි වියළි කලාපීය ඉඩම් අක්කර 5000 කට යල සහ මහ කන්නයේ වාරි ජලය සැපයීමට ද සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම, වැල්ලවාය, මොණරාගල පළාත්වල කුඩා වැව් 300 කට පමණ වාරි ජලය මෙමගින් සැපයෙනු ඇති.
ජලාශයේ උමං මාර්ගයේ ඉදිකිරීම් ද ජනාධිපතිවරයා නිරීක්ෂණයට ලක් කළා.
මෙරට ක්‍රියාත්මක විශාලතම බහුකාර්ය ව්‍යාපෘතියක් වන උමාඔය සදහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 535 ක්.