Gossips

උපදේශක කාරක සභා ජුලි මාසය වනවිට

පාර්ලිමේන්තු උපදේශන කාරක සභා ලබන ජූලි මාසය වනවිට පත් කරන බව කතානායක කාර්යාලය පවසනවා.
පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමෙන් පසු කාරක සභා යළි පත් කිරීම මෙන්ම, ඉදිරි පාර්ලිමේ්න්තු කටයුතු සම්බන්ධයෙන් ද ඊයේ (17) පැවති පක්ෂ නායක රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි එම කාර්යාලය සඳහන් කළේ.
මෙහිදී කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, කෝපා හෙවත් රාජ්‍ය ගිණුම්කාරක සභාව සහ රාජ්‍ය මුදල් කාරක සභාව සඳහා පෙර සැසිවාරයේ එම කමිටුවල පැවති නිලතල වෙනස් නොකිරීමට එකඟ වී තිබෙනවා.
ඒ අනුව, තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කටයුතු කරනු ඇති.
එමෙන්ම, ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ලෙස දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කටයුතු කිරීමට නියමිතයි.
සෙසු කාරක සභා සඳහා සිදුකරන පත් කිරීම් පිළිබඳව පක්ෂ නායකයින් තවදුරටත් සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය කර ඇති බවයි කතානායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
මීට අමතරව, පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාවලිය ලබන මස මුල් සතිය තුලදී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට හැකිවනු ඇති බවටයි කතානායක කාර්යාලය විශ්වාසය පළ කළේ.