Gossips

උදයංග වීරතුංග අල්ලන්න ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක්

2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවය සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊට පෙර ජාත්‍යන්තර පොලීසිය ඒ සදහා නිකුත් කර තිබුණේ නිල් නිවේදනයක්.
ඔවුන් එලෙස උදයංග වීරතුංග සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කර ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ශනයකින් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩුවකට අදාළවයි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයේ යුක්රේන්මාෂි සමාගමෙන් මිග් ගුවන් යානා 4 ක් මිලදී ගැනීම සහ ගුවන් හමුදාව සතුව තිබූ මිග් ගුවන් යානා 4 ක් ඕවර්හෝල් කිරීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවයි.
එමෙන්ම, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මෙම ගණුදෙනුව සදහා මැදිහත්ව කටයුතු කර ඇති බව විමර්ශනයේදී අනාවරණ වී ඇති කරුණක්.
ඔහු විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගොස් ඇති බැංකු ගිණුම් වෙත විදේශ රටවලින් විශාල වශයෙන් මුදල් බැර වී ඇති බව ද එහිදී හෙළි වී තිබෙනවා.
ඇමරිකානු ඩොලර් මිලියන 1 යි දශම 7 ක පමණ ශේෂයක් සහිත අදාළ බැංකු ගිණුම් 16 ක ඉදිරි ගණුදෙනු අත්හිටුවීමට අධිකරණය නියෝග කර ඇති අතර, උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා පසුගිය ඔක්තෝම්බර් 20 වනදා විවෘත වරෙන්තුවක් නිකුත් කළා.
තානාපති සේවය 2015 වසරේ පෙබරවාරි 28 වනදා අවසන් වුව ද උදයංග වීරතුංග විසින් ඔහු වෙත නිකුත් කර තිබූ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය භාරදීමක් හෝ අවලංගු කිරීමක් ද සිදුකර නැහැ.
අදාළ විදේශ ගමන් බලපත්‍රය උපයෝගි කරගෙන ඔහු පසුගිය පෙබරවාරි 4 වනදා ඩුබායි ගුවන්තොටුපලෙන් ඇමරිකා එක්සත් ජනපදය බලා යාමට උත්සාහ කිරීමේදී එරට බලධාරින්ගේ භාරයට පත්ව ඇති බව අබුඩාබි ජාත්‍යන්තර පොලිස් ඒකකය වාර්තා කරනු ලැබුවා.
ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සදහා මූල්‍ය අපරාධ කොට්ඨාශය අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.
එහෙත්, උදයංග වීරතුංග සමාජ ජාල වෙබ් අඩවිවලට මාධ්‍ය නිවේදන නිකුත් කරමින් මෙරට ක්‍රියාත්මක යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූපයක් මවා පෑමට උත්සාහ කරන බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.