Gossips

උදයංග පිටුවහල් කරන්න

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග වහාම මෙරටට පිටුවහල් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව පසුගිය 16 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් ද නිකුත් කළා.
ඒ අනුවයි පසුගිය 25 වන දා ඩුබායි හි හෝටලයක නවාතැන් ගෙන සිටියදී ඔහු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ පිලිබදව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය දැනුවත් කළ අතර ඉන් අනතුරුව ඔහු මෙරටට ගෙන ඒ සඳහා පොලීසිය කටයුතු ආරම්භ කළා.
ඒ අනුව ඔහු එරටින් වහාම පිටුවහල් කරන ලෙසට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇති බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.