Gossips

උදයංග ගෙන්වීමට ඩුබායි රාජ්‍යයේ නඩුකරයක් පවරයි

මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යංශය එක්ව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමේ ක්‍රියාමාර්ග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා ඇති බවට ඇතැම් අන්තර්ජාල පළ කර ඇති වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා.
එමෙන්ම රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනිම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත ඩුබායි රාජ්‍යයේ නඩුකරයක් පවරා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
එම නඩුව ලබන මස 10 වනදා නැවතත් විභාගයට ගැනීමට නියමිත බව ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.
ඒ ඊට අදාාළ නඩුව ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැඳවු අවස්ථාවේදියි.
ඩුබායි හි නඩු වාර්තා මෙතෙක් ලැබී නොමැති බව නීතිපති දෙපාර්තමේන්තු අධිකරණයට දන්වා සිටියා.
යළි නඩුව කැඳවනු ලබන ඔක්තෝබර් 26 වන දිනට උදයංග වීරතුංග මෙරටට ගෙන්විමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව අධිකරණයට දන්වන ලෙසටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.
එහිදී මහේස්ත්‍රාත්වරයා උදයංග වීරතුංග සහ ඔහුගේ බිරිඳ, දියණිය, මව, සහෝදරිය සහ බිරිඳගේ සහෝදරයාගේ ගිණුම්වල තොරතුරු ලබා දෙන ලෙසට බැංකු 19කට සහ මූල්‍ය ආයතන 46කට නියෝග කළා.
එමෙන්ම කොටස් වෙළඳපොළෙහි මධ්‍යම සංචිත ගිණුමේ මොවුන්ට අදාළ තොරතුරු ලබා දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා එහි මෙහෙයුම් අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.
2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළවයි මූල්‍ය අපරාධ කොට්ඨාශය මොහුට එරෙහිව අධිකරණයේ නඩු පවරනු ලැබුවේ.