Gossips

උතුරේ විපක්ෂ නායකට නැගෙනහිරින් මුදල්

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරීම සඳහා මුලතිව් – මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පසුගියදා සිදුකළ සැමරුම වෙනුවෙන් උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක ආර්.තවරාසා ලබාදී තිබූ මුදල පියවීමට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් අද කටයුතු කළා.
අදාළ සැමරුම වෙනුවෙන් උතුරු පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් රුපියල් 7000 බැගින් එකතු කර තිබූ අතර, ඊට විපක්ෂ නායකවරයාද මුදල් ලබාදී තිබුණා.
කෙසේ වෙතත්, විපක්ෂ නායක ආර්.තවරාසා පසුගිය පළාත් සභා සැසිවාරයේදී ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගෙන් විමසා තිබුණේ එම මුදල් වියදම් කළ ආකාරය පැහැදිලි කරන ලෙසටයි.
පළාත් සභාව විසින් එය සංවිධාන කර සිදුකරන බව පැවසුවත්, එසේ නොවූ බව පවසමින් ඔහු එහිදී ලබාදුන් මුදල් යළි ඉල්ලා සිටියා.
එම මුදල ජනතාවගෙන් සහ සිසුන්ගෙන් එකතුකර ලබාදුන් බව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතයින් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
සිසුන් එම මුදල උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් වෙත භාරදීමට කටයුතු කිරීමට යාමේදී, ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ අදාළ මුදල විපක්ෂ නායකවරයා වෙතම භාරදෙන ලෙසයි.
ඒ අනුව විපක්ෂ නායක ආර්.තවරාසාගේ නිවසට සිසුන් ගිය අවස්ථාවේදී කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් නිවසේ ගෙට්ටුවේ එම මුදල රඳවා පැමිණීමට කටයුතු කර තිබුණා.