Gossips

උතුරේ ගං වතුරෙන් අවතැන්වූ ජනතාවට සෞඛ්‍ය අංශවලින් උපදෙස්

උතුර පළාතට බලපෑ ගං වතුරෙන් පසු ඇතිවිය හැකි පාචනය වැනි බෝවන රෝගවලින් ආරක්ෂාවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අයහපත් කාලගුණයෙන් මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල පවුල් 30,302 කට අයත් පුද්ගලයින් 94,802කුට පීඩා එල්ලවූ අතර, මේ වනවිට පුද්ගලයින් 9455 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 30 ක රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේ.
වැඩිම හානි කිලිනොච්චි දිස්ත්‍රික්කයට සිදුව ඇති අතර, එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 54,688 දෙනෙකුට අයහපත් කාලගුණයෙන් පීඩා එල්ලවී තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තාවූ අතර නිවාස 110 ක් සම්පූර්ණයෙන්ම හානිවුණා. එමෙන්ම තවත් නිවාස 2541 කට අර්ධ හානි සිදුව තිබෙනවා.
මේ ජලගැලීම් තත්ත්වයෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ පැහැදිළි කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන කියා සිටියේ පිරිසිදු පානීය ජලය සහ පිසූ ආහාර භාවිතයට ගන්නා ලෙසයිි.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලට මිලිමීටර 100 ක පමණ තද වැසි සහ බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.