Gossips

උතුරු සහ නැගෙනහිර ඉඩම් අක්කර 263ක් නිදහස්

උතුරු හා නැගෙනහිර පළාත්වල ගෙන යන සංවර්ධන වැඩපිළිවෙල කඩිනම් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධන බලකාය 5 වන වරට ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
එහිදී කාර්ය සාධන බලකාය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ උතුරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් ද සහභාගි වී තිබෙනවා.
මේ අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි උතුරු සහ නැගෙනහිර යන පළාත්වල යුද හමුදාව දැනට පරිහරණය කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම්වලින් ජාතික ආරක්ෂාවට හානියක් ඇති නොවන පරිදි අක්කර 263කට වැඩි ප්‍රමාණයක් මේ වසර අවසන් වීමට පෙර නිදහස් කිරීමට සැලසුම් කර තිබෙනවා.
යුද හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2009 වසරේ මැයි මස 18 වන දිනට ප්‍රථම යුද හමුදාව විසින් උතුරු – නැගෙනහිර පළාත්වල පිහිටි ඉඩම්වලින් අක්කර 84,523ක ප්‍රමාණයක් භාවිතා කර ඇති බවයි.
එම ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 69,754ක් නිදහස් කර ඇති බව ද යුද හමුදා මූලස්ථානය සඳහන් කළා.