Gossips

උතුරු, නැගෙනහිර අක්කර 69,000 ක් නිදහස් කර අවසන් (ඡායාරූප)

හමුදාව භාවිත කළ උතුර සහ නැගෙනහිර පළාත්වල සාමාන්‍ය ජනතාවගේ සහ රජයේ ඉඩම් අක්කර 69,750 ක ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කර ඇති බව යුද හමුදාව පවසනවා.
ඉතිරි ඉඩම් නිදහස් කිරීම, තවදුරටත් සිදුකරන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
යුද සමයේ එල්.ටී.ටී.ඊ ය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි ඉඩම් අක්කර 84,500 ක් මානුෂීය මෙහෙයුමෙන් පසු හමුදා භාරයට ගැණුනා.
එම ඉඩම් දෙසැම්බර් මස 31 වනදා පෙර භාර දෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ අතර, ඒ අනුව, තවත් ඉඩම් අක්කර 264 ක් පමණ ලබන 25 වනදාට පෙර සාමාන්‍ය වැසියන්ට යළි භාර දෙන බවයි යුද හමුදාව සඳහන් කළේ.
මේ අතර, ජනාධිපති කාර්ය සාධක සැලැස්මට අනුව, මුලතිව් දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් අක්කර 53 ක්, නිදහස් කර මුලතිව් දිස්ත්‍රික් ලේකම්, රූපවතී කේතීස්වරන්ට භාරදීම ඊයේ සිදුකෙරුණා.
ඒ මුලතිව් යුද හමුදා ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ ප්‍රධානත්වයෙන්.
කෙසේ වෙතත්, හමුදාව විසින් පරිහරණය කරන ඉඩම් අක්කර 14,750 ක් පමණ මෙතෙක් භාරදීමට නොහැකි වී ඇත්තේ ඒවායේ ඉදිකර ඇති කඳවුරු වෙනස් ස්ථාන වල ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ.

(ඡායාරූප – දිනසේන රතුගමගේ / රොමේෂ් මදුශංක / මාධව කුලසූරිය)