Gossips

උතුරු කොරියාව මිසයිල අත්හදාබැලීම තාවකාලිකව නවතයි

සාකච්ඡා පවත්වන කාලය තුළ මිසයිල අත්හදාබැලීම් නතර කිරීමට උතුරු කොරියාව එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
2017 වසරේ නොවැම්බර් 28 වනදායින් පසු උතුරු කොරියාව මිසයිල අත්හදාබැලීමක් සිදුකර නැහැ.
තවදුරටත් අත්හදාබැලීම් සිදු නොකරන බවට උතුරු කොරියාව ලබාදුන් ප්‍රතිඥාව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි ජනපති ට්‍රම්ප් විශ්වාසය පළ කළා.
මීට මාස කිහිපයකට පෙර දැඩි පස මිතුරන් වූ ඇමරිකානු නායකයා සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් රාජතාන්ත්‍රික සාකච්ඡා සඳහා එකඟත්වය පළ කළේ සියල්ලන් මවිතයට පත් කරමින්.
උතුරු කොරියාව සමග එකඟත්වය ගොඩනැගෙමින් පවතින බවයි ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
එහෙත් සාකච්ඡා ආරම්භ කිරිමට පෙර උතුරු කොරියානු පාර්ශවයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් ප්‍රදර්ශනය කළ යුතු බව ධවල මන්දිරය මීට පෙර සඳහන් කර තිබුණා.
බලයේ සිටින ඇමරිකානු ජනාධිපතිවරයෙකු මෙතෙක් උතුරු කොරියානු නායකයෙකු මුණ ගැසී නැහැ.
ඇමරිකාව සහ උතුරු කොරියාව සාකච්ඡාවලට එකඟවීම පිළිබඳව චීනය ප්‍රසාදය පළ කරනවා.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමග පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පින් තමා සමග දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත් බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ.
ගැටළුව විකල්ප මාර්ගයකින් නොව රාජතාන්ත්‍රික අන්දමින් විසඳීමට කටයුතු කිරීම පිළිබඳව චීන ජනාධිපතිවරයා තමා වෙත ප්‍රසාදය පළ කළ බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම එම ක්‍රියාවලියට සහය වීමටද චීනය ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.