Gossips

උතුරු කොරියාවේ න්‍යෂ්ටික පරීක්ෂණ බිම් මැයි මාසයේ වැසේ

උතුරු කොරියාව, සිය න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරන පරීක්ෂණ බිම් මැයි මාසයේදී වසා දැමීමට නියමිත බව දකුණු කොරියාව ප්‍රකාශ කළා.
දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය මේ බව නිවේදනය කළේ උතුරු කොරියානු නායකයාගේ ඓතිහාසික සංචාරය පිළිබඳව පසු විපරමක් ලෙසයි.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් පසුගිය සිකුරාදා දේශසීමාව තරණය කොට දකුණු කොරියාවට පැමිණ එරට නායක මූන් ජේ ඉන් සමඟ සාකච්ඡාවල නිරතවුණා.
එහිදී ඔවුන් එකඟ වූයේ කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමටයි.
ඒ අනුව න්‍යෂ්ටික පරීක්ෂණ බිම් මැයි මාසයේදී වසා දමන උතුරු කොරියානු නායක කිම් ජොං අන් දකුණු කොරියානු ජනාධිපතිවරයා වෙත පැවසී යැයි ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ සාකච්ඡා ඉදිරි සති තුන හෝ හතර තුළ පැවැත්වීමට නියමිත බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එය කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමේ වැදගත් ඉදිරි පියවරක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ජනපති ට්‍රම්ප්ගේ නව රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියා සිටියේ පසුගියදා උතුරු කොරියාවේදී තමා එරට නායක කිම් ජොං අන් සමඟ සුබවාදී සංවාදයක නිරතවූ බවයි.
උතුරු කොරියානු නායකයා පසුගිය සිකුරාදා දේශසීමාව තරණය කොට දකුණු කොරියාවට පැමිණ එරට ජනාධිපති මූන් ජේ ඉන් සමඟ සාකච්ඡාවක නිරතවුණා.
1953 වසරේ කොරියානු යුද්ධය නිමවීමෙන් පසු එරටට පැමිණි ප්‍රථම උතුරු කොරියානු නායකයා ඔහුයි.