Gossips

උතුරු කොරියානු සාකච්ඡා ගැන ට්‍රම්ප්ගෙන් කොළ එළියක්

උතුරු කොරියානු නායක කිම්-ජොං අන් සමග පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබද සුබවාදී ප්‍රකාශයක් ඇමරිකානු පාර්ශවයෙන් නිකුත් වී තිබෙනවා.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (31) ප්‍රකාශ කළේ උතුරු කොරියානු සාකච්ඡා නිසි මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය පදනම් කර ගත් අදාළ සාකච්ඡා ජුනි 12 වනදා සිංගප්පූරුවේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම්-ජොං අන් අතර මෙම සමුළුව අවිනිශ්චිතව පැවති අතර, රාජ්‍ය ලේකම් පොම්පියෝගේ ප්‍රකාශයෙන් එය බොහෝ දුරට සිදුවිය හැකි බව දැන් විශ්වාස කෙරෙනවා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සාමයේ, සශ්‍රිකත්වයේ සහ ආරක්ෂාවේ නව යුගයක් ලෝකයට උදාකරලීම සදහා ජීවිත කාලය තුළ එළඹෙන එක් අවස්ථාවක් දැන් උදාවී ඇති බවයි.
මේ අතර, උතුරු කොරියානු නායක කිම්-ජොං අන්, රුසියාව සමගද සමුළුවකට සූදානම් වන බව වාර්තා වනවා.
ඔහු රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් සමග පියොංයැං නුවරදී පැවැත්වූ සාකච්ඡාවකදී ඒ සදහා එකගත්වය පළ කළ බව සදහන්.
එහිදී උතුරු කොරියානු නායකයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තොර කලාපයක් බවට පත් කිරීමට තමන් කැපවී සිටින බවයි.