උතුර සහ නැගෙනහිර පළාත්වලට අද දිනයේ මිලිමීටර 150 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලටද මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
මේ අතර කන්කසන්තුරේ සිට පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර 70 – 80 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම දැදුරුඔය, තබ්බෝව, රාජාංගණය, පරාක්‍රම සමුද්‍රය ඇතුලු ප්‍රධාන ජලාශ 10 ක වාන් දොරටු තවමත් විවෘතව පවතිනවා.
ජල මට්ටම් ඉහළ ගිය කැළණි, නිල්වලා ගංඟාවල මෙන්ම යාන්ඔය සහ මහ ඔයේ ජල මට්ටම් මේ වනවිට අඩුවෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත් නිල්වලා ගඟ, පානදුගම ප්‍රදේශයෙන් සුළු ගං වතුර මට්ටමක පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ පොළොන්නරුව – සෝමවතිය මාර්ගයේ දික්ගල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම මාර්ගය අඩි 4 ක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් පූජා නගරයට පැමිණෙන වාහනවලට බාධා එල්ලවී ඇති බවයි.
එමෙන්ම නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ගොඩනැගිල්ලක් නායයෑමේ අවදානමට ලක්වීම හේතුවෙන් එහි පවත්වාගෙන ගිය පළමු සහ දෙවන ශ්‍රේණියේ පන්තිවලින් දෙමාපියන් සිය ළමයින් අද උදෑසන ඉවත් කරගෙන ගොස් තිබෙනවා.
එමෙන්ම බදුල්ල – සිංහපුර එකේ කණුව ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම නිවසට දැඩි අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා නිවසින් එළියට පැන සියදිවි බේරාගෙන තිබෙනවා.
අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් සහ වවුනියාව යන ප්‍රදේශයන්හි තාවකාලික නිවාසවල ජීවත්වන ජනතාවද පීඩාවට ලක්ව ඇති බවයි එහි සිටින අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර අප වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට මහවැලි ගඟේ ජල මට්ටමද මනම්පිටිය ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බවයි.