Gossips

උතුරට සහ නැගෙනහිරට අදත් වැසි

උතුර සහ නැගෙනහිර පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100ක පමණ තද වැසි ද, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ සඳහන් කළේ.
එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 87,000කට වැඩි පිරිසක් තවමත් පීඩාවට පත්ව සිටිනවා.
මේ අතර, උතුරේ ගං වතුරෙන් විපතට පත් ජනතාවගේ හානිවූ නිවාස අලූත්වැඩියා කරගැනීම සඳහා අලාභය තක්සේරු කිරීමෙන් අනතුරුව රුපියල් දෙලක්ෂ පනස් දහසක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම එහි මූලික පියවර වශයෙන් රුපියල් දස දහසක මුදලක් ලබාදීමට පියවර ගන්නා ලෙසයි උතුර පළාත් ආණ්ඩුකාරවරයාට සහ රාජ්‍ය නිලධාරීන් වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
සහන සළසන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතරම හානිපූරණය කිරීමේ සහ වන්දි ලබාදීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසටද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
තවද ගං වතුරෙන් උතුර පළාතේ දිස්ත්‍රික්කවල අස්වැද්¥ කුඹුරු අක්කර 8,000 ක් පමණ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති අතර, එම කුඹුරු වෙනුවෙන් අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි ලබාදීමටයි තීරණය වී ඇත්තේ.
එමෙන්ම අපවිත්‍ර වී ඇති නිවාස, වෙළඳසැල්, ළිං සහ වැසිකිලි පිරිසිදු කිරීමට අවශ්‍ය වැඩසටහන් පළාතේ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් ක්‍රියාවට නංවන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණයෙන් ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් සළසන ලෙසයි ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ.
එමෙන්ම, උතුර පළාතේ ගං වතුරෙන් හානියට පත් ජනතාවට සහන සැළසීම සඳහා මැදිහත්වී කටයුතු කරන බවයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේ.