Gossips

උතුරට තවදුරටත් වැසි – දිස්ත්‍රික් 5ක පවුල් 13,000කට පීඩා – ඉරණමඩු, රාජාංගණය සහ දැදුරුඔයේ වාන් තවමත් විවෘතයි

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 13,646කට අයත් පුද්ගලයින් 44,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
ඉන් පවුල් 2661කට අයත් පුද්ගලයින් 8539 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 52ක රදවා ඇති බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.
නිවාස 6ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර, තවත් නිවාස 151කට අර්ධ හානි සිදුව තිබෙනවා.
පවතින අධික වැසි හේතුවෙන් රාජාංගණය, අංගමුව, ඉරණමඩු සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතිනවා.
එමෙන්ම මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වැසිත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටුවක් පමණක් විවෘත කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා නාවික හමුදාව ඩිංගි බෝට්ටු 9ක් සමඟ සහන කණ්ඩායම් 6ක් උතුරු පළාතේ යොදවා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයට බලපෑ ගං වතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන 4ක කොටු වී සිටි වැසියන් 418 දෙනෙකු යුද හමුදාව අද බේරා ගත්තා.
යුද හමුදාවේ 64 සහ 68 සේනාංකවල සෙබලුන් 500කට ආසන්න පිරිසක් ද උතුරු පළාතේ පීඩාවට පත්ව සිටින ජනතාව බේරා ගැනීමේ කටයුතු සඳහා එක්ව සිටිනවා.
අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තත්ත්වය සොයා බැලීම සඳහා ගුවන් හමුදාවේ බෙල් – 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ වයි 12 වර්ගයේ යානයක් නිරීක්ෂණ කටයුතු සඳහා එක්ව තිබුණා.
මේ අතර, උතුරු පළාතේ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය සහන කටයුතු ආරම්භ කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් කිලිනොච්චිය, මුලතිව් ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (24) පැවැත්වීමට නියමිතයි.
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මොණරාගල අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් හෙට (24) දිනයේ උතුරු පළාතේ නිරීක්ෂණයට එක්වන බව ද ප්‍රකාශ කළා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු පළාතට තවදුරටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම මධ්‍යම, සබරගමුව පළාතවලට මෙන්ම වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක කියා සිටියා.