Gossips

උතුරට තවදුරටත් තද වැසි – මුලතිව් සහ කිලිනොච්චියේ ජල ගැල්මෙන් 43,000 කට පීඩා

උතුරේ කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 43,885 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසනවා.
ඒ අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇද හැලූනු වර්ෂාවත් සමඟ මේ වනවිට පවුල් 9475 කට අයත් පුද්ගලයින් 31,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි කිලිනොච්චි දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එම දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු 26 ක මේ වනවිට පවුල් 1394 කට අයත් පුද්ගලයින් 4649 ක් රඳවා සිටිනවා.
එමෙන්ම පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 3794 කට අයත් පුද්ගලයින් 12,651 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
එහි පීඩාවට පත්වූවන් අවතැන් කඳවුරු 25 ක රඳවා සිටිනවා. පවුල් 1240 කට අයත් පුද්ගලයින් 3805 දෙනෙකු එම කඳවුරුවල රඳවා සිටින බවයි එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේ.
උතුර පළාතේ පවතින තද වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මේ අතර උතුර පළාතේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වහාම සහන සළසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.
එම සහන සැළසීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබාගන්නා ලෙසයි ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.