Gossips

උතුරට අදත් වැසි – පුද්ගලයින් 54,000 කට තවමත් පීඩා

උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට අද දිනයේද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 16,872කට අයත් පුද්ගලයින් 54,819 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.
එමෙන්ම පූර්ණ නිවාස හානි 10 ක් සහ අර්ධ නිවාස හානි 218 ක් ද වාර්තාවන බව ඔහු ප්‍රකාශ කළා.
මේ වනවිට පීඩාවට පත් පවුල් 3602 ක පුද්ගලයින් 11,299 ක් ආරක්ෂිත ස්ථාන 38 ක රඳවා ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා.
මේ අතර, රාජාංගණය, දැදුරුඔය, අංගමුව සහ ඉරණමඩු ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතිනවා.
අද අලූයම වනවිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තිබූ අතර, රාජාංගණ ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘතව පවතින බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.
රාජාංගණය ජලාශයෙන් මුදාහැරෙන ජලය කලා ඔයට එක්වන බැවින් එහි ජල මට්ටමද ඉහළ ගොස් තිබෙනවා.
කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතු එළුවන්කුලම ප්‍රදේශයෙන් ඇණහිට ඇති අතර, ඊට හේතුව වී ඇත්තේ එළුවන්කුලම පාලම මතින් අඩි 3 ක පමණ ජලයක් ගලායන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
එමෙන්ම රාජාංගණය වැවේ හදිසි වාන් දොරටු විවෘත කර තිබියදී ඊයේ පස්වරුවේ එම ස්ථානයේ පිහිනමින් සිටි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවිරිදි සිසුවෙකු දියේ ගසාගෙන ගොස් මියගොස් තිබෙනවා.
තඹුත්තේගම පොලීසිය සඳහන් කළේ මියගිය සිසුවා තවත් සිසුන් දෙදෙනෙකු සමඟ මෙම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවයි.
එම සිසුන් දෙදෙනා තරුණයන් කිහිපදෙනෙකු එක්ව බේරාගෙන තිබෙනවා.
මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම සියලූම රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.