Gossips

උතුම් ධර්ම දූත සේවාව ආරම්භය වූ ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය වස්සාන සෘතුවේ අවසාන පොහොයයි. ශාසන ඉතිහාසයේ සිදුවීම් රාශියක් සිදුවූ පොහොයකි.
ඒ අතුරෙන් ධර්මදූත සේවාව ප්‍රධාන වෙයි.
ලෝක සත්වයා කෙරෙහි මහත් කරුණාවෙන් – බෝසත් අවධියේ සිටම බුදුරජාණන් වහන්සේ- සත්වයාගේ සැපත හා දියුණුව මහත්සේ අගය කොට ක්‍රියා කළහ.
බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව පළමු වස බරණැස ඉසිපතනාරාමයෙහි ගතකොට අවසන්වීමත් සමඟම ප්‍රථමයෙන් පැවිද්ද ලබාගත් පස්වග තවුසන් , අනතුරුව පැවිද්ද ලබා ගත් යසකුල පුත්‍රයා ප්‍රධාන යහළුවන් පනස් පස් දෙනා ද වශයෙන් හැට නමක් වූ රහත් භික්ෂු පිරිස අමතා “මහණෙනි බොහෝ දෙනාට හිත සුව පිණිස සැප පිණිස ලෝකයාට අනුකම්පාව පිණිස දෙවි මිනිසුන්ගේ යහපත හා සැප පිණිස සැරිසරමින් ධර්මය දේශනා කරන්න” – “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” යනුවෙන් වදාළහ.
බුදු සසුනෙහි මේ දක්වාම ශ්‍රාවක සංඝයා විසින් බුද්ධ නියමය අනුව ක්‍රියාත්මක කරන ඒ උතුම් ධර්ම දූත සේවාවේ ආරම්භය වූයේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයකදීය.
උරුවෙල් දනව්වෙහි දී පන්සීයක් පිරිස සහිතව සිටි උරුවෙල කාශ්‍යපත්, තුන්සීයක් පිරිස සහිතව සිටි නදී කාශ්‍යපත්, දෙසීයක් පිරිස් සහිතව සිටි ගයා කාශ්‍යපත් පෙළහර දැක්වීමෙන් දමනය කර – ධර්මය දේශනා කොට පහදවා ඒ සියලු දෙන පැවිදි බිමට පත් කළහ.
මෙම මහා පිරිස බුදුරදුන් දේශනාකොට වදාළ ආදිත්ත පරියාය සූත්‍රය අසා රහත් භාවයට පත් වූයේ ද ඉල් පුර පොහොය දිනක දීය.
සැරියුත් හිමියන්ට තමන්ගේ ආයු කාලය අවසන වී ඇති බව වටහාගෙන පිරිනිවන් පෑම සඳහා බුදුපියාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා – ලද අවසරයෙන් අපවත්වූයේද, අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන්ගේ මෑණියන් වූ රූපසාරී බැමිණිය මගඵල ලැබීමත් ඉල් පුර පසළොස්වක පොහෝ දින අගනා ශාසනික සිදුවීම්ය.
අනාගතයෙහි බුද්ධත්වයට පත්වන බෝසතුන් උතුම් වූ විවරණ ලබා ගන්නේ ද ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ දී ය.
ශ්‍රී සම්බුද්ධ දේශනාවෙහි දැක්වෙන මහා කුසල් 8 අතුරින් කඨින පූජාව විශේෂයි. කඨින පූජාව පිළිබඳ විස්තර හා ආනිසංස දැනගත හැක්කේ විනය පිටකයෙන් පමණි.
ඒ අනුව එම කඨින පින්කම කලින් පින්කම් මෙන් නොව වප් අව පෑළවිය දින සිට ඉල් පුර පසළොස්වක් දින දක්වා අතර එක් දිනක පමණක් එක් විහාරස්ථානයක කළ හැකි දුර්ලභ පින්කමකි.
කඨින පූජාවක් පැවැත්විය හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක් පොහොයයි.