Gossips

උත්සව සමයේ කූඨ වෙළඳුන් සොයා දිවයින පුරා වැටලීම් ඇරඹේ

වසර අවසානයේ උත්සව සමය ආරම්භ වීමත් අධිවේගී මාර්ග භාවිත කිරීම ඉහළ යනු ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආර්.ඒ.ඞී. කහටපිටිය පවසනවා.
ඒ හේතුවෙන් ඊට අදාළව විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, උත්සව සමය ආරම්භ වීමත් සමඟ මාර්ග අනතුරුවලට ලක්ව විශාල පිරිසක් රෝහල් ගතවන අතර, ඒ හේතුවෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරීනි පුෂ්පා රම්‍යානි සොයිසා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අතර, උත්සව සමයේ පාරිභෝගික නීති උල්ලංඝනය කරන වෙළඳුන් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
ඒ අනුව ලබන ජනවාරි මස 15 වැනිදා දක්වා දිවයින පුරා එම විශේෂ වැටලීම් ක්‍රියාත්මකයි.
වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ වෙළඳපොලට පැමිණීම ඇතුළු අවිධිමත් සිදුවීම් සම්බන්ධයෙන් එම වැටලීම්වලදී දැඩි අවධානයක් යොමුවනු ඇති.
භාණ්ඩවල මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරන ලෙස වෙළඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක් සිදුකරන බවද එම අධිකාරිය සඳහන් කළා.
එමෙන්ම, වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් 21,000 ක් සිදුකර ඇති අතර, ඉන් 20,000 කට නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.
අදාළ නඩු තුළින් රුපියල් ලක්ෂ 850 කට ආසන්න දඩ මුදල් නියම කිරීමක්ද සිදුකර ඇති බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.