Gossips

උණට වැසූ දකුණේ පාසල් හෙට සිට විවෘතයි – වගකීම සෞඛ්‍ය බලධාරීන්ට

උණ රෝගයක් පැතිරී යාම හේතුවෙන් වසා දැමුණු දකුණු පළාතේ පාසල් හෙට යළි විවෘත කෙරෙනවා.
පෙර පාසල් යළි විවෘත වන්නේ ලබන සඳුඳා දිනයේ බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, පාසල් වසා තැබීම තුළින් මෙම උණ රෝගය ව්‍යාප්තවීම පාලනයට දායකත්වයක් නොලැබෙන ආකාරය පෙනී ගොස් ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය සඳහන් කළා.
ඒ අනුව එම පාසල් විවෘත කරන ලෙස තමන් ඊයේ පළාත් අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ.
එහෙත් පාසල් තවදුරටත් වසා තැබිය යුතු බවට සෞඛ්‍ය අංශවලින් මෙතෙක් දැනුම්වත් කිරීමක් සිදුකර නොමැති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
ඒ අනුව හෙට සිට යළි පාසල් ආරම්භ කෙරෙන බවත්, එහි වගකීම පළාත් සෞඛ්‍ය බලධාරීන් භාරගත යුතු බවත් ඔහු සඳහන් කළා.
දකුණු පළාතේ පැතිරී යන වෛරස් උණ රෝගයෙන් මිය ගිය දරුවන්ගේ මරණවලට හේතුව වෛරස් කිහිපයක් අසාදනය වීම බවට සැකයක් මතු වී ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක අද හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මෙම උණ රෝගය හේතුවෙන් මේ වන විට දකුණු පළාතේ වයස අවුරුදු 12ට අඩු දරුවන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.