Gossips

උණට ගොදුරු වූ ගැබිණි මව්වරුන්, පළමු දිනයේම රෝහල්ගත කරන ලෙස උපදෙස්

උණ වැළඳුණු ගර්භනී හෝ පසු ප්‍රසව මව්වරුන් පළමු දිනයේම රෝහල් ගත කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදෙනවා.
ඒ, මේ දිනවල පැතිර යන ඩෙංගු සහ ඉන්ෆ්ලූවෙන්සා රෝග තත්ත්වය හේතුවෙන්. එලෙස පළමු දිනයේම රෝහල් ගත කිරීමෙන් එම මව්වරුන්ට විශේෂිත ප්‍රතිකාර ලබාදිය හැකි බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසන්නේ.
එවැනි මව්වරුන් පළමු දිනයේම රෝහල් ගත කිරීමට සියලූම වෛද්‍ය ආයතනවලට, රජයේ සහ පෞද්ගලික වෛද්‍යවරුන්ට, බාහිර රෝගී අංශවලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට උපදෙස් මේ වන විටත් නිකුත් කර ඇති බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
මේ දිනවල පැතිර යන ඩෙංගු සහ ඉන්ෆ්ලූවෙන්සා රෝග වැළදුණු ගර්භනී මව්වරුන් අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්ව, උග්‍ර සංකූලතාවලට ලක්විය හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කළා.
ගර්භනී මව්වරුන්ට සෙම්ප්‍රතිශ්‍යා, උණ, රෝග ලක්ෂණ ඇති අය අසළට යාමෙන් සහ වැඩිපුර සෙනග ගැවසෙන ස්ථානවල රැදීමෙන් වළකින ලෙසටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදෙනවා.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්තවලට අනුව ඉන්ෆ්ලූවෙන්සා – නිව්මෝනියාව හේතුවෙන් මෙම වසරේ මාතෘ මරණ දෙකක් වාර්තා වී ඇති අතර පසුගිය වසරේ ගර්භනී කාන්තාවන් 11 දෙනෙකු නිව්මෝනියාව නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.