Gossips

උණක් නිසා රුහුණේ කෘෂිකර්ම පීඨය වැසේ

වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
එහි උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළම සිසුන් සියයකට ආසන්න පිරිසක් වෛරස් උණ වැළඳීම හේතුවෙන් අසනීප වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බවද මහාචාර්යවරයා සඳහන් කළා.
මේ අතර, ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය වැළදුනු බවට සැකකෙරෙන රෝගීන් 30 දෙනෙකු ඇඹිලිපිිටිය රෝහලේත් ප්‍රතිකාර ලබන බවට ඊයේ අනාවරණ වුණා.
සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ද කියා සිටියේ දකුණේ උණ රෝගය මේ වනවිට සබරගමුව පළාතට ද ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ අප කළ විමසීමකදී කියා සිටියේ මෙම තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා වසංගත රෝග විද්‍යා ඒකකයේ කණ්ඩායමක් එම පළාතට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය අනෙකුත් පළාත්වලට පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම, දකුණු පළාතේ මේ වනවිට ඉන්ෆ්ලූවෙන්සා වෛරසය වැළඳුණු රෝගීන් 2500 ක් පමණ හමුවී ඇති බවයි සෞඛ්‍ය අංශ මීට පෙර සදහන් කළේ.