Gossips

උඩුවේ හිමියන්ට රට යන්න අවසර දී ඇත්තේ අගෝස්තු 25 වැනිදා සිටයි

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගත වීම සදහා අවසර ලබාදී ඇත්තේ අගෝස්තු 25 වනදා සිට බව අධිකරණය දැනුම්දී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ, ආගමික වැඩසටහනකට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට වැඩම කිරීමට අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි උන්වහන්සේ, ආපසු හරවා යැවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.
ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවීමට අවසරයක් නොමැති බව ගුවන් තොටුපළ නිලධාරීන් පළමුව පවසා ඇති අතර පසුව සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව උන්වහන්සේට ගුවන් යානයට ඇතුළු වීමට අවසර ලබා දී තිබුණා.
කෙසේ වෙතත් ගුවන් යානය පිටත් වීමට ස්වල්ප වේලාවකට පෙර නැවතත් ධම්මාලෝක හිමියන්ට විදෙස් ගත වීමට අධිකරණයෙන් ලබාදුන් නියෝගයක ඇති දිනය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පවතින බවයි ආගමන විගමන නිලධාරීන් පවසා ඇත්තේ.
නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප ලබා දීමේදී විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා.
කෙසේ වෙතත් උන්වහන්සේ අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තහනම තාවකාලිකව ඉවත් කෙරුණේ අගෝස්තු මස 25 වනදා සිට ඔක්තොම්බර් 12 දක්වා කාලය සඳහායි.
අප මේ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අධිකරණයෙන් කරනු ලැබූ කරුණු විමසීමකින් පසුව මෙම තීරණයට එළඹි බවයි.
ධම්මාලෝක හිමියන්ට විදෙස් ගත වීමට අවසර ලබාදුන් දිනය පිළිබද මුද්‍රණ දෝෂයක් පවතී ද යන්න ගැටලූ සහගත බවයි ප්‍රතිපත්ති සහ නීති කටයුතු පිළිබද පාලක වන දසිත නිරෝෂන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.