Gossips

ඊ.ටී.අයි. ගනුදෙණුවේදී දේශීය සමාගම් මගහැරීම ගැන – ජාතික ආර්ථීක සභාවේ අවධානය

ඊ.ටී.අයි. ගණුදෙනුවේදී එය මිලට ගැනීමට ඉදිරිපත්වූ දේශීය සමාගම් සමඟ ප්‍රමාණවත් පාරදෘශ්‍ය භාවයකින් කටයුතු නොකිරීම පිළිබඳව ජාතික ආර්ථීක සභාවේ අවධානය යොමුවුණා.
ඊ.ටී.අයි. වත්කම් මිලට ගැනීමට සමාගම් 3 ක් කැමැත්ත පළ කර තිබූ අතර, ඉන් දේශීය සමාගම් දෙක සමඟ තැන්පතුකරුවන්ට ගෙවීමට උපරිම මුදලක් ලබාගැනීම සඳහා කේවල් කිරීමක් සිදුකළේද යන්න සම්බන්ධයෙන්ද ගැටළු සහගත බවයි එහිදී අනාවරණ වුණේ.
එසේම සමාගම් 3 ටම ලන්සු තැබීම සඳහා සමාන අවස්ථා ලබානොදීම පිළිබදවද මෙහිදී අවධානය යොමුවුණා.
ජාතික ආර්ථීක සභාව ජනාධිපති කාර්යාලයේදී අද රැස්වූණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයාද ඊට එක්ව සිටියා.
එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ ඊ.ටී.අයි. තැන්පතුකරුවන්ට කඩිනම් සහන සැළසිය යුතු බවයි. ඒ අනුව ඊ.ටී.අයි. සමාගමේ වත්කම් අලෙවි කිරීම පිළිබඳව ජාතික ආර්ථීක සභාව සිය නිර්දේශ ඉදිරිපත් කළා.
දේශීය සමාගම්වලට ඊට අදාළව නිසි අවස්ථා නොලැබීම පිළිබඳව ආර්ථීක සභාවේ අවධානය යොමුවුණේ ඒ අනුවයි.
මේ අතර ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳවද ජාතික ආර්ථීක සභාව අද විශේෂ අවධානයක් යොමුකර තිබුණා.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ණය ලබාදීමේ ආයතන ලියාපදිංචි කිරීමේ විධිමත් ක්‍රමවේදයක් පැවතිය යුතු බවයි.
මේ අතර කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරය සම්බන්ධයෙන් වූ ටෙන්ඩර් ක්‍රියාවලිය සොයා බැලීම සඳහාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ, අද පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.
අමාත්‍ය රවී කරුණානායක විසින් අදාළ ටෙන්ඩරය සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව එහිදී ඉදිරිපත් කර ඇති අතර, ඊට අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ විරෝධය එල්ල වී තිබෙනවා.
අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ටෙන්ඩරය විදේශීය සමාගමකට නොව දේශීය සමාගමකට ලබාදීමට කටයුතු කළ යුතු බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම, හර්ෂ ද සිල්වා සහ රවී කරුණානායකගෙන් සමන්විත මෙම කමිටුව පත්කරනු ලැබුවා.
එහි වාර්තාව මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී ඇත්තේ.