Gossips

ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයට වාහනවලින්, අධිකරණ භූමියට පැමිණීම තහනම් කරයි

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට සිය පෞද්ගලික රථ වාහනවලින් අධිකරණ භූමියට පැමිණීමට අවසර ලබාදිය නොහැකි බව අධිකරණය දැනුම් දී තිබෙනවා.
ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව එහි තැන්පත්කාරිනියක වන අනූෂා ජයන්ති මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලිකව ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි අදාළ දැනුම් දීම සිදුකර ඇත්තේ.
නඩුව සඳහා පැමිණි ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය අද දිනයේදීත් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ භූමියට සිය පෞද්ගලික රථයකින් පැමිණීමට උත්සාහ කළ ද අධිකරණ ආරක්ෂකයින් ඊට ඉඩ ලබාදුන්නේ නැහැ.
එහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාතේ රජින්ද්‍රා ජයසූරිය සඳහන් කළේ ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කරන ජීවක, නාලක, දීපා සහ අසංක එදිරිසිංහ යන අයට සිය පෞද්ගලික රථවලින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළට පැමිණීමට අවසර ලබාදිය නොහැකි බවයි.
පසුගිය 5 වනදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේ ඔවුන් පෞද්ගලික රථවලින් අධිකරණ භූමියට පැමිණීමත් සමඟ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබුණා.
අධිකරණ භූමියට බාහිර පුද්ගලයින්ගේ මෝටර් රථ පැමිණීම තහනම් වූවත්, එම නඩුවට පෙනී සිටීම සඳහා ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් එදින සිය පෞද්ගලික මෝටර් රථවලින් පැමිණ සිටියා.
කෙසේ වෙතත්, අද දිනයේදී නඩු විභාගයෙන් අනතුරුව ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සෙසු නඩුවල චූදිතයින් මෙන් පා ගමනින් උසාවි භූමියෙන් පිටතට යන අවස්ථාවේදී තැන්පත්කරුවන් දැඩි විරෝධයක් පළ කර සිටියා.