Gossips

ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයින් නිදහස් කරගැනීමට විදේශ රැකියා අමාත්‍යාංශය මැදිහත් වෙයි

සංචාරක වීසා මත ඊශ්‍රායලයට පැමිණ සිටියදී බන්ධනාගාර ගත කෙරුණු ශ්‍රී ලාංකිකයන් 13 දෙනා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට විදේශ රැකියා අමාත්‍යාංශය මැදිහත්ව තිබෙනවා.
ඒ අනුව ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මොවුන් හමුවීමට යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
සංචාරක වීසා මත ඊශ්‍රායලයට පැමිණි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු සති දෙකක කාලයක සිට එරට බන්ධනාගාර ගතව පසුවනවා.
විදේශ රැකියා අමාත්‍ය ගාමිණී ලොකුගේ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස එරට තානාපති කාර්යාලයට දැනුම්දී ඇති බවයි.
ටෙල් – අවීව් නුවර බෙන් ගූරියන් ගුවන් තොටුපළෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ මොවුන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සඳහන්. මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස ඊශ්‍රායලයේ යහලොම් ප්‍රදේශයේ රැදවුම් කඳවුරකට රැගෙන ගොස් ඇති අතර, එහි ඊශ්‍රායල රජයේ බලපවත්වන නීතිය ක්‍රියාත්මක නොවීම විශේෂත්වයක්.
ඒ අනුව ඔවුන් අධිකරණ විභාගයකින් තොරව රදවා තබා ගැනීමට අවසර ලැබෙන බව ජෙරුසෙලම් පෝස්ට් පුවත්පත ප්‍රකාශ කළා.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඊශ්‍රායල බලධාරීන් වෙත පවසා තිබුණේ තමන් සිය රට තුළ දී තර්ජනවලට ලක්වන බවයි.