Gossips

ඊශ්‍රායලය, පලස්තීන බටහිර ඉවුරට ව්‍යාප්තවන ලකුණු

ඊශ්‍රායල මහ මැතිවරණය ලබන අඟහරුවාදා පැවැත්වෙන අතර, ඉන් ජයග්‍රහණය කළහොත් පලස්තීන බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස පවතින ප්‍රදේශ ඊශ්‍රායලයට ඈදාගන්නා බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
ඔහුගේ දක්ෂිණාංශික ලිකුත් පක්ෂය එම අදහස් දරණ තවත් පක්ෂ කිහිපයක් සමඟ සන්ධානගතවයි මැතිවරණයට තරග වදින්නේ.
අනාගත පලස්තීන රාජ්‍යයක භූමිය ලෙස සැළකෙන බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස ඉදිකිරීම ජගත් සංවිධාන සම්මුතීන්ට අනුව නීතිවිරෝධී කටයුත්තක්.
එහි යුදෙව් ජනාවාසවල දැනට හාරලක්ෂයක් පමණ පිරිසක්් සිටින අතර, නැගෙනහිර ජෙරුසලමේ තවත් දෙලක්ෂයක් පමණ වාසය කරනවා.
බටහිර ඉවුරේ පලස්තීනුවන් විසිපන් ලක්ෂයක් පමණ වෙසෙන අතර, බටහිර ඉවුර ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම එක් කොට පලස්තීන රාජ්‍යයක් ගොඩනැගීම පලස්තීනුවන්ගේ අරමුණයි.