Gossips

ඊයේ මැදියම් රෑ සිට වයිබර් සක්‍රීය වෙද්දී ෆේස්බුක් තහනමට සිදුවන දේ

ජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳව සළකා බලා තාවකාලිකව සීමා කර තිබූ වයිබර් සමාජජාලයට ප්‍රවේශවීම සඳහා ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙහිදී විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රමිකයින්ට සිය නිවෙස් සමඟ සන්නිවේදනය කිරීමේදී මුහුණදීමට සිදුවන අපහසුතාවන් මෙන්ම සංචාරකයින්ට සහ ව්‍යවසායකයින්ට සිදුවී ඇති අපහසුතාවන් පිළිබඳව අවධානය යොමුවූ බවයි.
පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශවල කළහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට ඇතැම් පාර්ශවයන් නීතිවිරෝධී ලෙස සමාජමාධ්‍ය භාවිත කිරීම පාලනය කිරීම සඳහා රජය පසුගියදා කටයුතු කළා.
ඒ අනුව ජනතාවට සිදුවන අපහසුතාවන් සළකා බලා මූලික පියවරක් ලෙස මෙලෙස වයිබර් සමාජ ජාලයට ප්‍රවේශවීමට පනවා තිබූ සීමා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ෆේස්බුක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ හෙට (15) පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව බොහෝ දුරට අනිද්දා වනවිට අනෙකුත් සමාජ මාධ්‍ය වෙත පිවිසීමට ඇති බාධා ඉවත් කෙරෙනු ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ අතර, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම සම්බන්ධයෙන් තම කොමිසමට ලැබුණු පැමිණිලි පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද සඳහන් කළා.