Gossips

ඉහළ යන බස් ගාස්තු ගැන කතා කරන, කමිටුව රැස්වෙයි

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ අතර සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පැවැත්වුණා.
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු කොපමණ ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු ද යන්න පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ඊට එක්ව සිටින අන්තර් පළාත් බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව ජුලි මස 1 වන දා වාර්ෂිකව බස් ගාස්තු සංශෝධනය සිදුවිය යුතු අතර, ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙවර සියයට 20ක ගාස්තු සංශෝධනයක් අපේක්ෂා කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියා.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.
ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවේදී ගන්නා අවසන් තීරණය හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇති.