Gossips

ඉස්ලාමාබාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් යළි ප්‍රතිෂ්ඨාපනය කෙරේ

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් යළි ප්‍රතිෂ්ඨාපනය කර තිබෙනවා.
පකිස්ථාන ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනයක් මත දෙදින නිල සංචාරයක නිරතවන මෛත්‍රීපාල සිරිසේන මහතා එරට පිහිටි එකම ක්‍රියාකාරී බෞද්ධ විහාරස්ථානය වන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත අද පස්වරුවේ පැමිණියා.
අනතුරුව ආගමික වතාවත්වල නිරතව ආශීර්වාද ලබාගත් ජනාධිපතිවරයා සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේයි සමරු ඵලකය නිරාවරණය කර බෞද්ධ මධ්‍යස්ථානය යළි ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුවේ.
මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ අධ්‍යක්ෂ ආචාර්ය අකුරටියේ නන්ද හිමියන්, සෝමාවතී රජමහා විහාරාධිපති පුජ්‍ය පහමුණේ සුමංගල හිමියන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුනා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ නේපාලය, ඉන්දියාව, මියන්මාරය, කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, චීනය සහ මැලේසියාව යන රටවලින් තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් සහ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්වු බවයි.
මේ අතර පාකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එරට අග්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි අතර ද්වි පාර්ශවික සාකච්ඡා අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.