දශකයකට ආසන්න කාලයකට පසුව ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ නියෝගය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් විවිධ අදහස් පළ කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රියේ මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.
ඒ, වත්මන් පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරමින්.
ඉතිහාසයේ මෙවන් සිදුවීමක් අවසන් වරට 2009 වසරේදී සිදුවූ අතර, සැසිවාරය අවසන් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ උසස් ඉහළ නිලතල කාරක සභාව හා ආංශික අධීක්ෂණ කාරක සභා 16 හැර අනෙකුත් කාරක සභා අහෝසි වනු ඇති.
ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙම ක්‍රියාව මගින් ඉදිරියේදී දේශපාලන අර්බුද රැසකට ආණ්ඩුවට මුහුණදීමට සිදුවන බවයි.
කෙසේ වෙතත්, කළුතර ප්‍රදේශයේ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කියා සිටියේ මෙම ක්‍රියාවලිය ආණ්ඩුවේ වැදගත් ආරම්භයක් බවයි.
එමෙන්ම විගණන සහ අධිකරණ පනත් අහෝසි වන බවත්, ඒවා ඊළඟ සැසිවාරයට ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.
ඒ අනුව ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වනවාද නැද්ද යන තීරණයත් සමඟින් පාර්ලිමේන්තුව එළැඹෙන මැයි මස 08 වැනිදා රැස්වන්නේ ජනාධිපතිවරයාගේ නියෝගයකටයි.
වත්මන් පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය එදින උත්සවශ්‍රීයෙන් සටහන් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ රාජාසන කතාවෙන් අනතුරුවයි.
රාජාසන කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවස්ථාවක්ද ඉතිහාසයේ සටහන් වනවා.
1964 දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව රාජාසන කතාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟයි එය සිදුවුණේ.
ඉන් අනපේක්ෂිත ලෙස වසර 04 කට ආසන්න කාලයක් ආණ්ඩු බලය හෙබ වූ එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරණායකට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවුණා.