Gossips

ඉවත්වනවාද නැද්ද ? තීරණාත්මක සාකච්ඡාව අද රාත්‍රියේ

විශ්වාසභංගයට සහය දුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉවත්වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රි 7 ට පැවැත්වෙනවා.
ඒ, පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදියි.
මෙම රැස්වීමට සහභාගිවීමට පෙර විශ්වාසභංග යෝජනාවට සහය දුන් නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් කොළඹදී අද උදෑසන විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙනවා.
එහිදී මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කිරීම සඳහා ලිපියක් සකස් කරගෙන ඇති අතර, ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගැනීමට අවසර ලබාදෙන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා ඇති බව සඳහන්.
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමඟ තවදුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බවට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ද පසුගියදා ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණා.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදියි.
අමාත්‍යධුර වලින් ඉවත්වීම සඳහා පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය අද ලබාගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළා.
– අමාත්‍ය චන්දිම වීරක්කොඩි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පසුගිය විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය හදවත තේරුම් අරගෙන. අපි හෘදසාක්ෂියට එකගව ඒ ඡන්දය දුන්නේ තනතුරු වරප්‍රසාද බලතල ගැන තකලා නෙමෙයි. අද මධ්‍යම කාරක සභාවට ගිහිල්ලා මේ තනතුරුවලින් ඉල්ලා අස්වීම සදහා පක්ෂයේ අවසරය ඉල්ලා සිටින්න කටයුතු කරනවා.
ප්‍රශ්නය – ඇමතිධුරවලින් ඔබතුමාලා 16 දෙනාම ඉවත් වෙනවාද..?
පිළිතුර – ඔව්. අපි 16 දෙනාම ඒ මතයේ තමයි ඉන්නේ. අපි විශ්වාස කරනවා ජනතාවාදී තීරණයකට මධයම කාරක සභාවේ බහුතරයේ එකගත්වය මත අපිට එළැඹෙන්න හැකියාව තියෙයි කියලා පක්ෂයක් හැටියට.
ප්‍රශ්නය – තනතුරුවලින් ඉවත් වුණාට පස්සේ ඒකාබද්ධ විපක්ෂය පැත්තට වාඩිවෙන්න සූදානමක් තියෙනවාද..?
පිළිතුර – නෑ.. නෑ.. ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් මම දන්නේ නැහැ. අපි විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කටයුතු කරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.
ප්‍රශ්නය – ඇමතිතුමා මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන ලේකම්තුමන්ලා දෙපළ පිළිබඳ මොනවා හරි තීරණයක් ගන්න නියමිතයිද අද..?
පිළිතුර – අපි සාකච්ඡා කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන පක්ෂය ශක්තිමත් කරන්නේ කෙසේද, පක්ෂය නැවත ජනතා විශ්වාසය තහවුරු කරන ආකාරයට ඉදිරියට ගෙන යන්නේ කෙසේද කියන එක පිළිබඳ අපේ අදහස් ඉදිරිපත් කරනවා.පොදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජනතාව පිළිගන්නා නිලධාරී මණ්ඩලයක් සිටිය යුතුයි කියන මතය ප්‍රකාශ කරන්න අදහස් කරනවා.
විශ්වාසභංගය පිලිබඳ ඡන්ද විමසීමේදී කවර තීරණයක් ගත්තද පක්ෂයේ නියෝජිතයන් ආරක්ෂා කරන බව වව්නියාවේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවා.
– අමාත්‍ය දුමින්ද දිසානායක
– ආණ්ඩුව ආරක්ෂා කරන්න අපි කොන්ද කෙළින් තියාගෙන කටයුතු කළා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාට හෝ විශ්වාසභංගයක් එනවානම් ඒ වෙනුවෙනුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයා ආරක්ෂා කරන්න ඒ කොන්දම පාවිච්චි කරලා අපි කෙලින් හිට ගන්නවා කියලා කාරණාවත් මතක් කළා.
ප්‍රශ්නය – මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ ඔබතුමා අතර යම් ගැටුමක් හටගෙන තිබෙනවාද..?
පිළිතුර – කණ්ඩායමක් ජනාධිපතිතුමාව සහ අගමැතිතුමාව රකින්න ඕන කියන කාරණාවත් ඒ වගේම තවත් කණ්ඩායමක් එතනින් එතනින් එහාට ගිය බලාපොරොත්තුවක් වෙනුවෙන් කටයුතු කළත් මත දෙකක් දැරුවත් අපේ මතය නොදැරූ කට්ටියකට කාගෙන් හෝ අභියෝගයක් එනවානම් ඒ සියලු
අභියෝග වෙනුවෙන් අපි පක්ෂයක් විදිහට කොන්ද කෙළින් තියාගෙන ආණ්ඩුව රැක්ක විදිහට හිට ගන්නවා කිව්වේ ඒකයි.
ප්‍රශ්නය – ඇමතිතුමා මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරනවා ඉදිරි මැතිවරණය බලාපොරොත්තු කරගෙන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහොමද ඒ කටයුතු කරන්නේ..?
පිළිතුර – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා සහ අපි ආරම්භ කරනවා. ඒ වගේම ඉදිරියටත් අපි ඒ පක්ෂයේ වෙනස්කම් ටික කරනවා.
ප්‍රශ්නය – මොනවගේ ප්‍රතිසංවිධානයක් කරන්න ද බලාපොරොත්තු වෙන්නේ..?
පිළිතුර – කළාට පස්සේ ඔබතුමා කියන්න. දැන් මෙයා තමයි ඉන්නේ මෙයා තමයි තමයි ඉන්නේ මෙන්න වැඩේ කියලා කින්න. ඒ නිසා පක්ෂයේ ලේකම්වරයා විදිහට මගෙන් මොනදේ ඇහුවත් වෙන්න යන දේ ගැන මම වෙන්න යන දේ ගැන එක වචනයක් කියන්නේ නැහැ. වුණාට පස්සේ කියනවා කැමතිනම් ප්‍රචාරය කරන්න.
මේ අතර, සමාජවාදී ජනතා පෙරමුණ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අදහස් පළවුණා.
– වාසුදේව නානායක්කාර
– ආණ්ඩු බිඳීමක් කරා යන්නනම් ඒකාබද්ධ විපක්ෂයට තියෙන වගකීම තමයි මේ විශ්වාසභංග යෝජනාවේදී අපිත් එක්ක එකතු වෙච්ච එකග වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුත් එක්ක අපේ තිබුණු සන්ධානය ප්‍රබල කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම්කිසි මතයකට පැමිණීමේ අවශ්‍යතාවය තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතන්න වෙනවා අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ. මෙතන ප්‍රධානතම චරිතය මේ ක්‍රියාදාමයට හතුරුව ඉන්න චන්ද්‍රිකා කුමාරතුංග. යූ.එන්.පීකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැට ගැසීමේ ප්‍රධාන තැරැව්කාරිය වුණේ ඇයයි. ඇය තමයි අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයකට පැමිණිමේ ප්‍රධාන බාධකය ඇයයි. ඒනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුළ ගැනෙන තීරණ අතර චන්ද්‍රිකාගේ
භූමිකාව ගැනත් යම් තීරණයක් ගන්න වෙනවයි කියලා මම විශ්වාස කරනවා.
ප්‍රශ්නය – අගමැතිට එරෙහිව ඡන්දය පාවිච්චි කරපු මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අපි ඉවත් වෙලා යන්නම් විපක්ෂයට. එහෙම ආවොත් ඒකාබද්ධය පිළිගන්නවාද..?
පිළිතුර – අත් දෙකම ඔසවලා ඒ අයට ආචාර කරලා භාරගන්න ලෑස්තියි. නමුත් ඒ අය එය නොකළ යුතුයි. ඒ අය ඉන්න ඕන ආණ්ඩු පක්ෂය තුළ. ඉදගෙන ආණ්ඩු පක්ෂය තුළ අභ්‍යන්තර අරගලය ගෙන යන්න ඕන රනිල්ට විරුද්ධව. ඒ කැබිනට් ධුරවල ඉදිමේ අයිතිය කියන්න ඕන. මේ කැබිනට් එක මේ බලය අපිට තනිකරම එහාට භාරදෙන්න බැහැ. මේක පුළුවන්නම් අපේ අතටම ගන්න ඕන.
මේ අතර අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් වෙත එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් එල්ල කරන විරෝධය නිසා ආණ්ඩුව තුළ ඇති බෙදීම වර්ධනය කරන බවයි.